ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 222කට සීමා වෙයි

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 222කට සීමා කිරිමෙන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ පිලේ මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනකුම ලකුණු 56ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ පන්දු යවන්නන්ට වැඩි සහයක් ගෙනදුන් ඩැකා තණතීරුවේ ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ පාලනය පෙරළා සියතට ගැනීමට සමත්වූහ. තරගයේ පළමුදිනය නිමාවනවිට බංග්ලාදේශ පිල කඩුලු 6ක් ඇතැතිව ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 166ක් පසුපසින් සිටියේය. ලිටොන් දාස් ලකුණු 24ක් ද, මෙහ්ඩි හසන් ලකුණු 5ක් ද ලබා නොදැවී කඩුල්ලේ රැඳ සිටිති.

ඊයේ පස්වරු තේ පානයෙන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ පිලේ ප්‍රබලතම පිතිකරු ටමීම් ඉක්බාල් පෙරළා දුන් උඩපන්දුව රැකගත් සුරංග ලක්මාල් ප්‍රතිවාදී පිලේ පළමු කඩුල්ල ලකුණු 4දී බිඳ දැමුවේ සිය ටෙස්ට් තරග දිවියේ 100 වැනි කඩුල්ලට හිමිකම් කියමිනි.

අනතුරුව ඩිල්රුවන් පෙරේරා යැවූ ඊළඟ ඕවරයේදී පළමු ටෙස්ට් තරගයේ ඉනිම් 2කදීම ශතක රැස් කළ මොමිනුල් හක් ලකුණු රැස් කිරීමටත් පෙර දුවද්දී දවාලීමට හසුකරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. සුරංග ලක්මාල්ගේ 101වැනි කඩුල්ල ලෙස මුෂ්ෆිකුර් රහීම් එක් ලකුණකට දැවී යද්දී බංග්ලාදේශ ඉනිම දිස්වූයේ කඩුලු 3කට ලකුණු 12ක් ලෙසිනි. මුලු ලකුණු සංඛ්‍යාව 45දී ඉම්රුල් කයිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට ඩිල්රුවන් පෙරේරා සමත්විය.

කාසියේ වාසිය දිනා ඊයේ උදෑසන සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිලට දැඩි පීඩනයක් ගෙනදුන් වසර 4කට පසුව නැවත බංග්ලාදේශ පිලට ඇතුළත්වූ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක් දිවා ආහාරයට පෙර කඩුලු 3ක්ම බිඳ දැමීමට සමත්වූ අතර තයිජුල් ඉස්ලාම් එක් කඩුල්ලක් දවාලීය.

කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 3කට දැවී ගියේ අබ්දුර් රසාක්ගේ පන්දුවකටය. අනතුරුව ධනංජය ද සිල්වා ලකුණු 19ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට තයිජුල් ඉස්ලාම් සමත්විය. මුලු ලකුණු සංඛ්‍යාව 96ක්ව තිබියදී ධනුෂ්ක ගුණතිලක සහ නායක දිනේෂ් චන්දිමාල් පිට පිට පන්දු දෙකකදී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ අබ්දුර් රසාක් දිවා ආහාරය වනවිට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4කට ලකුණු 105කට සීමා කිරීමට සමත්විය.

සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 5 වැනි අර්ධ ශතකය රැස් කළේ දිවා ආහාරයට පෙරය. එහෙත් දිවා ආහාරයෙන් පසුව වැඩි වේලා පිටියේ රැඳී සිටීමට ඔහුට ඉඩ නොදුන් අබ්දුර් රසාක් ලකුණු 68ක් ලබා සිටියදී ඔහුගේ කඩුල්ල බිඳ දැමුවේය. ඉන් පසුව නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකට දවාලමින් තයිජුල් ඉස්ලාම් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කළේය.

එහෙත් ඉන් පසුව රොෂේන් සිල්වා සමග එක්වූ ඩිල්රුවන් පෙරේරා ලකුණු 31ක් රැස් කරමින් 7 වැනි කඩුල්ලට ලකුණු 52ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගුවේය. සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ ධනංජය සිල්වා ඊයේ තරගයේදී ලකුණු 20ක් රැස් කිරීමට සමත්වුයේ රොෂේන් සිල්වා සමග එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 43ක් එක් කරමිනි. තයිජුල් ඉස්ලාම්ට තරගයේ සිවුවැනි කඩුල්ල හිමිකරදෙමින් රොෂේන් සිල්වා ලකුණු 56කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යමිනි.