ශ්‍රී ලංකාව වාසිය අතට ගනියි; රොෂේන් ශ්‍රී ලංකාව ඇදගෙන යයි

දඟ පන්දු යවන්නන්ට උචිත මීපුර් ක්‍රීඩංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ ජයග්‍රහණය සඳහා වැඩි වාසියක්‌ පළමු ඉනිමේදී ලබාගත් ශ්‍රී ලංකා පිල තරගයේ දෙවැනි දිනය (09 දා) නිමා වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 08 ක්‌ දැවී ලකුණු 200 ක්‌ ලබා සිටියේය.

ඊයේ පළමු හෝරාව ඇතුළත බංග්ලාදේශයේ අවසන් පිතිකරුවන් හය දෙනාගේ කඩුලු ඩැහැ ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පළමු ඉනිමේදී ලකුණු 112 ක වාසියක්‌ ශ්‍රී ලංකා පිලට අත්කර දීමට සමත් වූහ. එම වාසිය සමග කඩුලු 02 ක්‌ අතැතිය ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 312 ක්‌ ඉදිරියෙන් පසුවේ. පළමු දින දෙක ඇතුළත දෙපිලේම කඩුලු 28 ක්‌ දැවී යාම මත එම ලකුණු සංඛ්‍යාව ජයග්‍රහණයට සාර්ථක අඩිතාලමක්‌ බවට දිස්‌වේ.

ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබීමේ නැංගුරම වූ රොෂේන් සිල්වා පිට පිටම සිව්වැනි වරටත් අර්ධ ශතකය ඉක්‌මවා යමින් පන්දු 94 කදී හතරේ පහර නවයක්‌ සමග නොදැවී ලකුණු 58 ක්‌ ලබා සිටියි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ සබඳතා මෙම තරගාවලිය පුරාවටම අඩු අගයක්‌ ගනිද්දී දෙවැනි ඉනිමේදීද ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස්‌ දැවී යන විට ලකුණු පුවරුවට එක්‌ව තිබුණේ ලකුණු 19 ක්‌ පමණි.

දඟ පන්දු යවන්නන්ගෙන් ගැලවීමක්‌ නොමැති තණතීරුවේ කඩුල්ලේ රැඳී සිටීමට වඩා ලකුණු ලබා ගැනීමේ ක්‍රමවේදය ඉදිරියෙන් තබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් නිතරම ලකුණු ලබා ගැනීමේ උත්සාහක නිරත විය. එහිදී ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පන්දු 105 කදී ලකුණු 32 ක්‌ ලබා ගත්තද අංක තුන පිතිකරු ධනංජයද සිල්වා පන්දු 24 කදී ලකුණු 28 ක්‌ එකතු කර ගත්තේය.

නායක දිනේෂ් චන්දිමාල් සහ රොෂේන් සිල්වා පස්‌වැනි කඩුල්ලට ලකුණු 51 ක සබඳතාවක්‌ පිහිටුවමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ඔසවා තැබුහ. එහිදී චන්දිමාල් පන්දු 54 කදී හතරේ පහර 3 ක්‌ සමග ලකුණු 30 ක්‌ ලබා සිටියදී මෙහිදී හසන්ගේ පන්දුවක්‌ හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.