මුදල් විශුද්ධිකරණයට අසාදු ලේඛනගතවීම ඔක්තෝබරයේ විසඳනවා

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම් වැළැක්වීම සඳහා නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ චෝදනාව යටතේ යුරෝපා පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට ගෙන ඇති තීන්දුව යළි නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

ඒ අනුව ඊට අදාළව ක්‍රියාකාරී සැලැසුමක් පිහිටුවීම සඳහා කටයුතු ආරම්භ කර ඇතැයිද ඒ මහතා සඳහන් කර සිටියි. ඊයේ (15දා) පෙරවරුවේ මහ බැංකුවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.

මේ යටතේ ලබන ඔක්තෝබර් මාසය වන විට සියල්ල නිරවුල් කරගැනීමත් මහ බැංකුවේ අරමුණ වී තිබෙන බවත් මෙහිදී අනාවරණය විය. එසේම මේ චෝදනා සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක මූල්‍ය සමාගම්, කැසිනෝ මූලිකවී ඇතැයි යන්න තවමත් ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

&අපි දැනටමත් මේ අසාදු ලේඛනයෙන් ඉවත්වීම සඳහා කලාපීය සංවිධානය වන මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිපික් කණ්ඩායම (APG) සමගින් එක්ව එකඟවුණු ක්‍රියාකාරී සැලසුමක් සකස් කරමින් සිටිනවා. මේ කටයුතු අවසන් කරමින් ඔක්තෝබර් මාසය වන විට මේ ලේඛනයෙන් ඉවත් වීමට අපි කටයුතු යොදනවා.* මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන සී.ජේ.පී. සිරිවර්ධන මහතා,

&අපිට මේ මුදල් විශුද්ධි කරණය සම්බන්ධව සුපරීක්ෂාවෙන් සිටින ලෙස නිවේදනය ලැබුණේ 2015 වසරේදීයි. ඒ අනුව බැංකු නොවන මූල්‍ය සමාගම් පිළිබඳ ආවේක්ෂණය, කැසිනෝ ව්‍යාපාරය, මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරය, දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය එතැනදී ප්‍රධාන අංශ වුණා. මේ අංශ හරහා සිදුවිය හැකි මුදල් විශුද්ධිකරණ නැවැත්වීම සඳහා නව රෙගුලාසි සහ සුපරීක්ෂණ කටයුතු තීව්‍ර කිරිමට අපිට යෝජනා වී තිබුණා. ඊට අමතරව ඉරානය සහ චීනයට පනවා ඇති සම්බාධක ඇතුළුව තවත් කාරණාත් මෙතැනදී පැවතුණා. ඒත් මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිදුවුණු පමාවීම් මේ අසාදු ලේඛනයට අපේ රට ඇතුළත්වීම සඳහා හේතු වුණා.* යනුවෙන් පවසා සිටියේය.

මේ අතරම අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම මහබැංකුව පමණක් අදාළ වන කාරණාවක් නොවන බව පැවසූ මහ බැංකු අධිපතිවරයා, අධිකරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු, විගණකාධිපති දෙපාර්තමේන්තුව, ව්‍යාපාර ලියාපදිංචි දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ අමාත්‍යාංශ සහ ආයතන රැසක එකතුවෙන් සිදුවිය යුතුව තිබූවක් බවද සඳහන් කර සිටියේය.