ප්‍රසංග වේදිකාවේ පෙරළිකාර සංගීත කණ්ඩායමක් වන ‘ෆීඩ් බෑග්’

වර්තමානය වනවිට ප්‍රසංග වේදිකාව තුළ පෙරළිකාර සංගීත කණ්ඩායමක් ලෙස ‘ෆීඩ් බෑග්’ සංගීත කණ්ඩායම හැඳින්විය හැකිය. ‘ෆීඩ් බෑග්’ සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන චමල් වර්ණකුල මාධ්‍ය සමග මෙලෙස එක්විය.

 

‘ෆීඩ් බෑග්’ සංගීත කණ්ඩායම ගැන මුලින්ම කතා කරමු?

සංගීත කණ්ඩායමේ සාමාජිකයන් අට දෙනාම ගීත ගායනා කරනවා. එය විශේෂත්වයක්. ඒ වගේම අපේ සාමාජිකයන් අවුරුදු නවයක් වැනි කාලයක් එකටම සංගීත කටයුතුවල නියළුන අය. අවුරුදු නවයට පෙර අපි වෙනත් ආයතනයක සංගීත කණ්ඩායමක් ලෙස කටයුතු කළා. ඒ කාලයත් එක්ක සලකා බැලුවොත් අපි මේ ක්ෂේත්‍රය තුළ වසර පහළොවක පමණ කාලයක් කටයුතු කරනවා. මේ වනවිට ‘ෆීඩ් බෑග්’ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙස කටයුතු කරන්නේ මම. බෙස් ගිටාරයෙන් සුරේෂ් රොද්‍රිගෝ, රිදම් ගිටාරයෙන් ප්‍රසන්න ප්‍රනාන්දු, ඩ්‍රිම්ස් වාදනයෙන් දිනුර ප්‍රනාන්දු, ඔක්ටපෑඩ් ශාලික මදුවන්ත, කීබෝඩ් වාදනයෙන් ශාන් එදිරිසිංහ, ගායනයෙන් නිශා වන්නි ආරච්චි සහ මිලින්ද සඳරුවන් කටයුතු කරනවා.

 

පැරැණි ගායකයන්ගේ ගීතවලට ‘ෆීඩ් බෑක්’ සංගීත කණ්ඩායම තුළ වැඩි ඉඩක් තිබෙනවා නේද?

අපේ සංගීත කණ්ඩායම ආරම්භ කර වසර හතරකට පමණ පසු ‘ෂා එෆ්.එම්.’ නාළිකාවේ නන්ස්ටොප් නයිට් ප්‍රසංගයට ආරාධනා ලැබුණා. එහිදී ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත මුල් ගායකයන්ව සිහිපත් කර ඔවුන්ට උපහාරයක් ලෙස ෆ්‍රෙඩී සිල්වා මහත්මයා, නීලා වික්‍රමසිංහ මහත්මිය, එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයන්ගේ ගීත නන්ස්ටොප් ලෙස ගායනා කරන්න ලැබුණා. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

සංගීත කණ්ඩායමක් ලෙස ඉදිරියට යන ගමනේ දී කලක් ක්ෂේත්‍රයේ පැවැති සංගීත කණ්ඩායම්වලින් ලැබෙන සහයෝගය කෙබඳුද?

ප්‍රශ්න ඇති වෙනවා. කැපිලි කෙටිලි තිබෙනවා. නමුත් හොඳ දෙයක් කරන්න නිතරම උත්සහ කරනවා. එහෙම වෙහෙස වෙමින් කරන දේවල්වලට වටිනාකමක් ලැබෙනවා. හැම කෙනෙක් එක්කම සහයෝගයෙන් කටයුතු කරන්න තමයි අපි නිතරම උත්සහ කරන්නේ. හදවතින්ම අපිත් එක්ක කටයුතු කරන මේ ක්ෂේත්‍රයේ පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ශක්තියත් එක්ක ‘ෆීඩ් බෑග්’ හොඳ ගමනක් යන්න තමයි කටයුතු කරන්නේ.

 

සංගීත කණ්ඩායමක් ලෙස සිදුකිරීමට නියමිත ඉදිරි කටයුතු ගැන සඳහන් කළොත්?

අපේ සංගීත කණ්ඩායම විසින් නිර්මාණය කළ ගීත දෙකක් පමණයි තිබෙන්නේ. වර්තමානය වනවිට සීඩි පටවලට, කැසට්වලට ඉල්ලුමක් වගේම, වෙළෙඳ පොළකුත් නැහැ. සංගීත කණ්ඩායමක් ලෙස අපි කරන නිර්මාණ වැදගත්. ඒ නිසා කාලයක් අරගෙන හොඳ නිර්මාණ කිහිපයක්ම කරන්න සැලසුම් කරමින් ඉන්නවා. ඒ වගේම ගුවන් විදුලි නාළිකා, රූපවාහිනි නාළිකාවලින් අපිට බොහෝ උපකාර කරලා තිබෙනවා. මේ වනවිට ‘ෂා’ නන්ස්ටොප් නයිට් ප්‍රසංග හයක් පමණ සිදුකළා. අපි සංගීත කණ්ඩායමක් ලෙස යන මේ ගමනට උදව් කළ හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා.