ක්ලිෆර්ඩ් කුසලානය මහනුවරට

නාවික හමුදා ක්‍රීඩකයන්ගේ සටන්කාමීත්වය හමුවේ නොසැලී ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයෙන් ලකුණු 21-7ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ක්ලිෆර්ඩ් කුසලානය දිනාගැනීමට ඊයේ (25) සමත්විය.

කොළඹ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 8-0කින් පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත්වූවත් දෙවැනි භාගයේ ආරම්භයේදීම මොහොමඩ් අබ්සාල් විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයන් අත තිබූ පන්දුව උදුරාගෙන ගොස් පහසු උත්සාහක දිනුමක් තැබීමෙන් දැඩි පීඩනයකට හසුවිය. එම උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට පත් කරමින් ලකුණු 7ක් ගෙන දීමෙන් නැවියන්ගේ සටන්කාමීත්වය ඉහළ ගියේය.

ඊළඟ මිනිත්තු කිහිපයේ කරට කර සටන් කළ දෙපිලම ලකුණු රැස් කිරීමට දැඩි උත්සාහක නිරතවූ අතර අවසානයේ දී සිය දෙවැනි උත්සාහක දිනුම තැබු ධනුෂ්ක රන්ජන් සිය කණ්ඩායම පීඩනයෙන් මුදවා ගත්තේය. ඒ අනුව මහනුවර පිල ලකුණු 13-7කින් ඉදිරියට ගියේය.

ඊට මොහොතකට පසුව දඬුවම් පහරක් එල්ල කළ තිළිණ විජේසිංහ මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ දැමීමට සමත්වූයේ පීඩනය නැවත නැවියන් මතට තල්ලු කර හරිමිනි.

මහනුවර පිලේ ජයග්‍රහණය තහවුරු කරමින් විශිෂ්ට උත්සාහක දිනුමක් තැබීමට ශෙහාන් පතිරණ සමත්වූයේ ෆාසිල් මරිජා විසින් ලබා දුන් අනගි පන්දු පිරිනැමීමකිනි.

මහනුවර පිල රැස් කළ උත්සාහක දිනුම් 3ම ගෝල බවට පත් කිරීමට නයිජල් රත්වත්ත සහ තිළිණ විජේසිංහ අසමත්වූහ. ඒ අවස්ථා කිහිපයේදීම පන්දුව ගෝල් කණුවේ වැදී ඉවතට ඇදී ගියේය.

සිය අවසන් තරගයට ක්‍රීඩා කළ මහනුවර පිලේ විශිෂ්ට ක්‍රීඩක ෆාසිල් මරිජගේ සමුගැනීම විශිෂ්ට ජයග්‍රහණයකින් නිමා කළ මහනුවර පිල තරගයට එක්වූයේ ගයාන් වීරරත්නගේ නායකත්වයෙනි.

තරගාවලියේ පූර්ණ අනුග්‍රාහක ඩයලොග් සමාගමේ සමූහ ප්‍රධාන විධායක අමලී නානායක්කාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවති අතර ශ්‍රී ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න, උප සභාපති ලසිත ගුණරත්න සහ ඩයලොග් සමාගමේ මාධ්‍ය හා සන්නිවේදන කළමනාකරු හර්ෂ සමරනායක මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.