ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් 15 ක් මරුට

ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී හතලිස් දෙනෙකු තුවාල ලැබුවා. කයිරෝ අගනුවර බලා ගමන් කරමින් තිබූ දුම්රියකුයි මෙලෙස අනතුරට ලක්වුණේ.

උතුරු දිග බෙහෙයිරා පළාතේ දුම්රිය මාර්ගයක අනතුර සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මගී දුම්රියෙන් වෙන් වුණු මැදිරි දෙකක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවූ බවයි බලධාරීන් සඳහන් කළේ. විපතට පත්වූවන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ඊජිප්තු අගමැතිවරයා නියෝග කර තිබෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී එරට ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ සිදුවූ මෙවැනිම දුම්රිය අනතුරකින් පුද්ගලයින් හතලිස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී සිය දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා.