ඊශ්‍රායල පොලිසිය එරට අගමැතිගෙන් ප්‍රශ්ණ කරයි

විදුලි සංදේශ වංචාවක් සම්බන්ධයෙන් ඊශ්‍රයාල පොලිසිය එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ප්‍රශ්න කළ බව ‘ඊශ්‍රායල ගුවන්විදුලිය’ අද (2) සිකුරාදා වාර්තා කළේය.

ඊශ්‍රායලයේ විශාලතම විදුලි සංදේශ සමාගම වන ‘බෙසෙක්’ සමාගම සම්බන්ධ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිවරයාගෙන් මෙසේ ප්‍රශ්න කර තිබේ. ඊශ්‍රායල අගමැතිවරයාගෙන් දූෂණ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ පළමු වරටය.

තවත් අල්ලස් සිදුවීම් දෙකක් සහ දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ද ඊශ්‍රායල අගමැතිවරයාට චෝදනා එල්ල වී තිබේ. මෙම පරීක්ෂණයත් සමඟ සිව්වැනි වරටත් අගමැතිධුරය හොබවන නෙදන්යාහුගේ දේශපාලන පැවැත්මට ද තර්ජනයක් එල්ල වී තිබේ.

මේ සිදුවීම් සියල්ලේදීම තමන් කිසිදු වරදක් කර නැතැයි චෝදනා ප්‍රතික්ෂේප කරමින් නෙදන්යාහු පවසයි. අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ සිදුවීම් ‘කේස් 4000’ යනුවෙන් හැඳින්වෙන අතර ‘බෙසෙක් ඊශ්‍රායල විදුලි සංදේශ’ සමාගමේ ප්‍රධානීන්ගෙන් ද ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.

මෙම ‘කේස් 4000’ නැමැති සිදුවීමේදී ‘බෙසෙක් ඊශ්‍රායල විදුලි සංදේශ’ සමාගම විදුලි සංදේශන නියාමකයන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීම උදෙසා ඔවුන්ගේ පුවත් වෙබ් අඩවියක අගමැති නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් හිතකර සහ සතුටුදායක අයුරින් පුවත් වාර්තා කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

ඊශ්‍රායලයේ ප්‍රමුඛ සහ ප්‍රබල දේශපාලනඥයකු වන නෙතන්යාහු 2009 වසරේ සිට බලයේ පසුවෙයි. වසර 1996 සිට ගත්විට ඔහු බලයේ රැඳි සිටි සම්පූර්ණ කාර්යාලය අවුරුදු 12කි. ඔහු 2019 වසරේදී පැවැත්වෙන මැතිවරණයට ද ඉදිරිපත්වීමට සූදානමින් සිටියි. ලබන වසරේදී බලයට පත්වුවහොත් ඔහු අගමැතිධුරයට පත්වන පස්වැනි අවස්ථාව එය වනු ඇත.