ඉදිරියටත් වැසි ඇතිවිය හැකි

අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බැවින් ඉදිරියටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මුලතිව් නයාරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් අතුරුදන් වූ ධීවරයින් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. ධීවරයින් තුන්දෙනෙකු මෙසේ අතුරුදන්ව සිටින අතර නාවික හමුදාවයි ඔවුන් සෙවීමේ මෙහෙයුම් සිදුකරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

අධික වර්ෂාවත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වල ජල ධාරිතාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අඩි දෙක බැගින් විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම ජලය මහවැලි ගඟට මුදා හැරෙන බැවින් ගඟ අවට ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

නිල්වලා ගඟේ ජල මට්ටම ද වේගයෙන් ඉහළ යමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ඉදිරි පැය 24 තුළද මාතර දිස්ත්‍රික්කයට අධික වර්ෂාවක් ඇද හැලුනහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ. නිල්වලා ගඟේ අතු ගංඟාවක් වන කිරඹආර පිටාර මට්ටමක පවතිනවා. ඒ හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසයි මාලිම්බඩ, මාතර, කඹුරුපිටිය, තිහගොඩ, තුඩාව, බණ්ඩත්තර ආදී ප්‍රදේශවල ජනතාවට අවධාරණය කෙරෙන්නේ. අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළා ගැනීමටද බාධා එල්ල වී තිබෙනවා.