කැෆේ සංවිධානයෙන් පොලිස් කොමිසමට ලිපියක්

තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශ වල ඇතිවූ කළහකාරී අවස්ථාවලදී පොලීසිය නිසි පරිදි රාජකාරි නොකිරීම පිළිබඳ වහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි කැෆේ සංවිධානය ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් ආරම්භයේදීම පොලීසිය නිසි පරිදි රාජකාරී ඉටු කළේ නම් ඇතිවූ දරුණු තත්ත්වයන් වළක්වා ගත හැකිව තිබූ බව පෙන්වා දෙන කැෆේ සංවිධානය පොලිසිය වගකීම් පැහැරහැරීම පිළිබද අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

මෙම කළහකාරී සිදුවීමේ දී පොලීසිය රාජකාරි කළ ආකාරය පිළිබඳ සෑහිමකට පත් විය නොහැකි බව කැෆේ සංවිධානය මීට ඉහත පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී අවධාරණය කළේය.

ඒ අනුව අද (14) දිනයේදී කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් මේ පිළිබඳව වන පැමිණිල්ලක් ජාතික පොලිස් කොමිසම වෙති ඉදිරිපත් කළ අතර එමඟින් ඉල්ලා ඇත්තේ ඉහත සිදුවීමේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වග කිවයුත්තන් හෙළිවෙයි නම් ඔවුන්ට එරෙහිව පියවරක් ගත යුතු බවයි.