මානව හිමිකම් කවුන්සලයේ තුන්වන චක‍්‍රය ලංකාව සම්මත කර ගනියි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන චක‍්‍රය සම්මත කරගෙන තිබේ.

ඊයේ(19) දිනයේ දී ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී එම වාර්තාව සම්මත වී ඇති බව සදහන් වෙයි.

පසුගිය නොවැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදාළ වාර්තාවේ නිර්දේශ 253ක් අතරින් නිර්දේශ 177ක් පිළිගත් අතර ඒ සදහා ශ‍්‍රී ලංකාව ස්වෙච්ඡාවෙන් ප‍්‍රතිඥා 12ක් ද ලබාදෙනු ලැබීය.

ඊයේ දිනයේ දී මානව හිමිකම් කවුන්සිලයේ තිස් හත් වන සැසිවාරය අමතමින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා සදහන් කළේ ශ‍්‍රී ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචන ක‍්‍රියාවලියට ප‍්‍රබල ලෙස සහය දක්වන රටක් බවයි.

පසුගිය නොවැම්බර් මාසයේ සිට ගෙවුණු මාස හතර ඇතුළත අදාළ වාර්තාවේ අඩංගු නිර්දේශ රැසක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද රවිනාත ආරියසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නේය..

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමල නව ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම, ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා වන ක‍්‍රියාවලියට ශ‍්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය පිළිබදව රවිනාත ආරියසිංහ මහතා දීර්ඝ වශයෙන් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කර තිබේ.

විශේෂයෙන්ම පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව මෙන්ම ඊට හේතු වූ කරුණු පිළිබදව ද රවිනාත ආරියසිංහ මහතා විසින් සිය ප‍්‍රකාශයේ දී අදහස් පල කළ අතර ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබාදෙන සහයෝගය ද අගය කරනු ලැබීය.

මේ අතර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් හෙට දිනයේ දී ලිඛිත යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම සැසිවාරයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යය භාර අමාත්‍ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් හත්වන සැසිවාරයට සමාන්තර සැසි දෙකක් ඊයේ ජිනීවා නුවර දී පවත්වනු ලැබීය.

ගෝලීය දෙමළ සංසදය ශ‍්‍රී ලාංකීය ගෝලීය සංසදය විසින් මෙම සැසි සංවිධානය කර තිබු අතර සංහිදියාව සම්බන්ධයෙන් වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ පවතින තත්ත්තවය පිළිබද අන්තර්ජාතික ප‍්‍රජාව දැනුවත් කිරීම මෙහි අරමුණයි.

මෙහිදි දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයින් දැක්වු අදහස්වලට ශ‍්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිතයින් අදහස් දැක්වීමත් සමග එම සැසිය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

ගෝලීය සංසදයේ තර්ක හේතුවෙන් සැසිය අතර මැද නැවතීමට ද සිදුව ඇති බව වාර්තා වෙයි.