අනතුරකින් මවක් සහ දියණියක් මරුට

මාපලගම, කහදූව මාර්ගයේ අඹගහවිල හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගොස් තිබේ.

ත්‍රීරෝද රථයක් මාර්ගය අසල නතර කර තිබූ ජේ.සි.බී රථයක ගැටීමෙන් ඊයේ (20‍) රාත්‍රීයේ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙක් හා දැරියන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා නියාගම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා කාන්තාවන් දෙදෙනා සහ දැරියන් දෙදෙනා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් කාන්තාවක් සහ ඇයගේ දියණිය මියගොස් ඇත.

මියගොස් ඇත්තේ තල්ගස්වල, නව නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ පස් හැවිරිදි දියණියයි.

අනතුර සම්බන්ධයෙන් ජේ.සී.බී රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටිගල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.