ස්කූටර් කැබින් කැඩූ දෙදෙනෙකු දැලේ

වවුනියාව නගරයට පැමිණෙන කාන්තා යතුරුපැදිවල කැබිනය කඩා මුදල් හා ජංගම දුරකථන සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු ඊ‍යේ (21) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පොලීසිය පැවසූවේ වවුනියාව නගරයේ පොදු ස්ථානවල නවතා තබන කාන්තා යතුරුපැදිවල අසුන යට තිබෙන කැබිනය වෙනත් යතුරු යොදාගෙන කඩා, මුදල් හා ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් පිළිබඳ වවුනියාව පොලීසියට ලද පැමිණිලක් මත සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුට ගත් බවයි.

වවුනියාව අන්නානගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හැවිරිදි සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට ‍කොල්ලකෑම් සිදුකොට ඇති බව පොලීසිය පරීක්ෂණවලින් අනාවරණය කො‍ටගෙන ඇත.

වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 15ක් , මුදලින් රුපියල් 30000ක් , කාන්තාවන්ගේ මුදල් පසුම්බි, යතුරුපැදි කැබිනය විවෘත කිරීමට යොදාගත් විශේෂිත වූ යතුරක්ද සොයාගත් බවයි.

සැකකරුවන් වවුනියාව රෝහල, වවුනියාව අධිකරණ සංකීර්ණය හා පාසල් අවට ප්‍රදේශවල නවතා තිබෙන යතුරුපැදිවලින් අදාළ කොල්ලකෑම් සිදුකොටගෙන ඇති බවට පැමිණිළි ලැබී ඇති බවද පොලීසිය පැවසීය.

කොල්ලකෑම්වලට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන අතර, උත්සව සමයේ වවුනියාව නගරයට පැමිණෙන යතුරු පැදිවල ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙසද වවුනියාව පොලිසිය ඉල්ලා සිටියි.

සැකකරුවන් වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.