තුෂාර ජෝෂප්ගේ ‘හිත ගාව හීන’ හොඳ ප්‍රතිචාර

ගීතයක් ජනප්‍රිය කිරීමට ප්‍රධාන මාවත බවට අද වනවිට යූටියුබ් සමාජ මාධ්‍යය පත්ව ඇත. කිසිදු පුද්ගලයෙකුගේ අනිසි බලපෑම් හෝ විවිධ හේතු හෝ නිසාවෙන් කිසියම් නිර්මාණයක් ජනප්‍රියත්වයට ගෙන යාමට නොහැකි නම්, එයට ගැළපෙන මාධ්‍ය සමාජ මාධ්‍ය බවට පත්වූයේ මෑත කාලයේ සිටය. රූපවාහිනි මාධ්‍යය තුළින් ගීත පැකේජ් ක්‍රමයක් ඇති බව කියමින් බොහෝ නවක ගායක ගායිකාවන් එයට දෝෂාරෝපණය කරති. එම මාෆියාවට විරුද්ධ බොහෝ දෙනෙක් මේ වනවිට යූටියුබ් ජාලය ඔස්සේ තමන්ගේ ගීත ජනප්‍රිය කර ගැනීමට යොමු වී සිටිති.

ප්‍රසංග වේදිකාව තුළ නිතර දකින, නිතර කටයුතු කරන ගායකයෙකු ලෙස තුෂාර ජෝෂප්ව හැඳින්විය හැක. ‘සහරා ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු වන ඔහු ප්‍රසංග වේදිකාව තුළ දක්ෂ ගායකයෙකු බවට පත් සිටියි. පසුගිය කාලයේ ඔහුගේ පළමු ගීතය වන ‘මියැදෙන්න සූදානම්’ ගීතය එළිදැක් වූ අතර, එයට බොහෝ ප්‍රතිචාරද හිමිවිය. එමෙන්ම ඔහුගේ නවතම ගීතය වන ‘හිතගාව හීන’ ගීතය සඳහා ප්‍රතිචාර හිමි වුවත්, එහී වීඩියෝව ගීතයට නොගැළපෙන බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ගීතයේ ඇති කිසිදු වචනයක් මෙම මියුසික් වීඩියෝ හා නොගැළපෙන බව යූටියුබ් ජාලය ඔස්සේ එම ගීත නැරඹූ බොහෝ දෙනාට පසක් වනු ඇත. කෙසේ වුවත් මේ වනවිට යූටියුබ් ජාලය ඔස්සේ ට්‍රෙන්ඩින් 01කට මෙම ගීතය පත්ව ඇත.

 

නිකුත් වූ දිනය – 2018 මාර්තු 21

ගායනය – තුෂාර ජෝශප්

පද රචනය – උවිඳු දයාරත්න

සංගීතය – හර්ෂන ප්‍රසාද්

නැරඹූ සංඛ්‍යාව – 460,579+