ගල්කිස්සේ සෝදිසියකදී මත් වැරැදිවලට 12ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් නිලධාරීන් එක්ව ගල්කිස්ස පොලිස් වසමේ ඊයේ (08) අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරන හා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින ලද සැකකරුවන් 08 දෙනෙකු, සැකකාරියන් 04 දෙනෙකු හෙරොයින්, කේරළ ගංජා, නීති විරෝධී මත්පැන් ඇතුළු තවත් නඩු භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම විශේෂ මෙහෙයුම ඊයේ (08) අලුයම 4.00 සිට උදෑසන 9.00 දක්වා කාලය තුළ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී සිදු කර ඇති අතර එම මෙහෙයුමේදී අත් අඩංගුවට ගත්තේ වයස අවුරුදු 21, 20, 22, 36, 44, 45, 46, 50 යන වයස්වල පසුවන බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මෙහෙයුමේදී හෙරොයින් මිලිග්‍රෑම් 6575ක්, කේරල ගංජා ග්‍රෑම් 56ක්, නීති විරෝධී මත්පැන්(කසිප්පු) ලීටර් 06ක්, දුම්කොළ කුඩු කිලෝ 30ක්, කඩුවක්, පිහි දෙකක්, මුදල් රුපියල් 81240ක්, ජංගම දුරකථන 09ක්, සිම් කාඩ්පත් 08ක්, ඩිජිටල් කැමරාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුන් අතර බඩෝවිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු වන අතර මෙම සැකකරුවන් අතර එකම පවුලේ මව පියා හා පුතෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ඊයේ (08) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.