සීතල යුද මානසිකත්වය අත්හැරිය යුතුයි – ෂී ජින්පිං

සීතල යුද්ධයක මානසිකත්වයකින් කටයුතු නොකළ යුතු බවත්, රටේ ආර්ථිකය සැමට විවෘත කරන. බවත් චීන ජනපති ෂී ජින්පිං පවසා සිටියේය.

චීන නායකයා මෙසේ අදහස් දක්වා සිටියේ ආසියානු බොආඕ සමුළුව අමතමිනි. මෙය ආසියාවේ ඩාවෝස් සමුළුව ලෙසින්ද සැලකේ. ඔහුගේ දේශනය ඇමෙරිකාව හා චීනය අතර මේ දිනවල පවතින වෙළෙඳ යුද්ධය සමනයකට පත්කරන්නක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

එහිදී, චීන නායකයා කියා සිටියේ චීනය වඩාත් විවෘත මෙන්ම, ගොලීයකරණයකට ලක්වූ, සැමට ඇතුළත් විය හැකි, වඩාත් සමතුලිත සහ සැමට ප්‍රතිලාභ හිමිවන තත්ත්වයකට පත්කරන බවයි.

චීන නායකයා වැඩිදුරටත් පවසා සිටියේ මෝටර් රථ සඳහා වූ ආනයන බදු කපා හරිමින් හා ආනයන පුළුල් කරමින්, විදේශීය ආයතන වෙත චීනය තුළ ආයෝජනය කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බවයි.

අද වනවිට ලෝකය වඩාත් සාමකාමීව හා සහයෝගයෙන් ඉදිරියට යමින් පවතින බව සඳහන් කළ චීන නායකයා සීතල යුද මානසිකත්වයකින් කටයුතු කිරීම මෙන්ම, කිසිදු පාර්ශ්වයකට ප්‍රතිලාභයක් අත් නොවන වෙළෙඳ න්‍යායක සිටීම යල්පිනූ ක්‍රියාවක් බවද අවධාරණය කළේය.

මෝටර් රථවලට අමතරව චීනය වෙත කෙරෙන ආනයන රැසක බදු සැලකිය යුතු ලෙස පහත හෙළීමට ෂී ජින්පිං පොරොන්දු වූ අතර, තවත් භාණ්ඩ රැසක් වෙත පවතින තීරුබදු අඩු කිරීමටද අවධානය යොමුකරන බව පැවසීය.

වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යෑමට කිසිදු අවස්ථාවක චීනය උත්සාහ නොකරන බව පැවසූ චීන නායකයා, එරට ජංගම ගිණුමෙහි වූ ජාත්‍යන්තර ගෙවීම්වල වඩාත් සමතුලිත තත්ත්වයක් ඇතිකර ගැනීමට උත්සාහ කරන බවද අවධාරණය කළේය.

ජී20 සහ එපෙක් වැනි බහුපාර්ශ්වීය සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වූ ෂී ජින්පිං, වෙළෙඳාමේ සහ ආයෝජනයේ වඩාත් නිදහස් බවක් ඇති කිරීමත්, ඒ වෙනුවෙන් පහසුකම් සැපයීමත් තුළින් බහුපාර්ශ්වීය වෙළෙඳ ක්‍රමය ශක්තිමත් කිරීමට හැකිවනු ඇති බවද සඳහන් කළේය.