විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් ගෙදර යා යුතුයි

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් අමාත්‍යාංශ භාර දී. ගෙදර යා යුතු යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමැති පී. හැරිසන් මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩ සටහනට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේ ය.

“කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කළොත් ඒ අයට තවදුරටත් ඇමැතිකම් දැරීමට නොහැකියි. ආණ්ඩු පක්ෂයට සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් විශ්වාසභංගයට සහාය දැක්වුවා. ඒ අය වෙනුවෙන් ගන්න ක්‍රියා මාර්ගය ගැන විවිධ අය ප්‍රශ්න කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව කියා තිබෙනවා සාමුහික වගකීම පිළිබඳ. ඒ අනුව එසේ විශ්වාසභංගයට සහාය දැක්වූ අයට තවදුරටත් ඇමැති ධූරවල රැඳී සිටින්න බෑ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දී තීරණයක් ගනීවි.

ආණ්ඩුවේ සිටිමින් විශ්වාසභංගයක් ගෙන ඒමත් වැරැදියි. ඒ අනුවයි අගමැතිවරයා එජාප මන්ත්‍රීවරුන් ගෙනා විශ්වාසභංගය ඉල්ලා අස් කර ගන්න උපදෙස් දුන්නා. මේ අනුව විශ්වාසභංගයට සහාය දුන් ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ වෙනස් කිරීම හෝ පත් කිරීම් හෝ ඉවත් කිරීම් සිදු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා පසුගිය දා ඉල්ලා අස් වුණා. ඉදිරියේ දී පක්ෂයේ ප්‍රතිසංවිධානයත් සමඟ සාකච්ඡාවලින් පසු නිලතලවල වෙනසක් සිදු වේවි. පළාත් පාලන මැතිවරණ ක්‍රමයේත් වෙනසක් විය යුතු බවට විවිධ මත තිබෙනවා. පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ අවුල් සහගත තත්ත්වයක් තිබෙනවා. සමහර තැන්වල දිනපු පැත්තට නෙමෙයි අනෙක් පැත්තට තමයි බලය ගිහිල්ල තියෙන්නේ. විශේෂයෙන් කාන්තා නියෝජනය වැඩිවීම ප්‍රශ්නයක් වෙලා. ඒ නිසයි මේ පනතේ සංශෝධනයක් කරන්න ඕන කියො පක්ෂ නායකයන් සියලු දෙනා පිළි අරන් තියෙන්නේ.

පසුගිය දා විශ්වාසභංගය ජයග්‍රහණයත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් මාධ්‍ය ආයතන ඉදිරියට ගිහින් කළ බව කියන ක්‍රියා මා අනුමත කරන්නේ නෑ. අපි ජයග්‍රහණයක් ලැබුවා නම් එය භුක්ති විඳින ක්‍රමවේදයක් තිබෙනවා. ඉතිහාසයේ සිදු වූ සිදුවීම්වලට නැවත යා යුතු නෑ. රජය ගෙන යන වැඩ පිළිවෙළට පක්ෂග්‍රාහීව කටයුතු නොකරන නිලධාරීන් විවිධ ආයතනවල සිටිනවා. ආණ්ඩුව කුමක් වුවත් නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් ඔවුන්ගේ දේශපාලනය ගැටලුවක් වෙන්නේ නෑ. හැම නිලධාරියකුටම අනන්‍යතාවක් තිබෙනවා, තමන් කැමති පක්ෂයකට වැඩ කරන්න.

විශ්වාසභංගයේ දී ඇත්තටම කිසිවකුට මුදල් ලබා දී නෑ. නමුත් පැරදුනාම එක එක කතා කියනවා. මේ අවස්ථාවේ හදවතින්ම සියලුම මන්ත්‍රීවරුන් එකා වගේ සිට දිනූ ඡන්දයක්.”