TNA කෝකිලායි විහාරස්ථානය භූමිය ඉල්ලයි

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ අමාත්‍යවරු හා මන්ත්‍රීවරු පිරිසක් මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි ශ්‍රී සම්ම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කොට එම පළාතේ සිංහල ජනාවාස ඉදි කිරීමට නියමිත සියලුම ප්‍රදේශ පරීක්ෂා කොට තිබේ.

කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන්ගෙන් ප්‍රශ්න කොට ඇත්තේ උන්වහන්සේට විහාරස්ථානය ඉදි කිරීමට ඉඩම ලැබුණු ආකාරය පිළිබඳවයි.

එම ඉඩම සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ නඩුවක් තිබූ බවත් නඩුව පවරණ ලද අයම එම නඩුව ඉල්ලා අස් කරගත් බවත්,මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් මේ ඉඩම සඳහා බලපත්‍රයක් ලබා දුන් බවත් ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියෝ දෙමළ ජාතික සන්ධානයේ ඇමතිවරු හා මන්ත්‍රීවරු පිරිසට පවසා තිබේ.

සිංහල බෞද්ධයින් නොමැති ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීමෙන් පලක් නොමැති බව ප්‍රකාශ කොට ඇති එම කණ්ඩායම අනතුරුව ”මායාපුර”ලෙස සංවර්ධනය වන ප්‍රදේශය නැරඹීමට ගොස් තිබේ.

ඒ සඳහා ඉඩම් රජයෙන් ලබා දී ඇත්තේ මහවැලි ව්‍යාපාරයක් වශයෙනි.

මේ සියලුම දේ නීති විරෝධී බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ පිරිස මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ එම ඉඩම් ආපසු ලබා ගන්නා ලෙසත් ලබා දී ඇති ඉඩම් අවලංගු කරණ ලෙසත් ඉල්ලමින් විරෝධතාවයක නිරත වී තිබේ.