ශ්‍රීලනිපයෙන් තවත් පිරිසක් ගැලවෙයි

ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් පසුව ඇතිවූ දේශපාලන අර්බුදය හමුවේ ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු 16 දෙනෙක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් දැනට පවතින දේශපාලන වාතාවරණය අනුව ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමක් පවතින බව දැනට ඉවත්වී සිටින මන්ත්‍රීවරුන් පවසයි.