ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

දියවැඩියාව, හෘද රෝග, පිළිකා ඇතුළු බෝ නොවන රෝග අවම කිරීම සඳහා ලෝක බැංකුව මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇත.

මෙරට ජනතාව අතර පවතින බෝ නොවන රෝග වළක්වාලීමේ අරමුණෙන් එම මුදල් ද භාවිතා කරමින් විධිමත් වැඩපිළිවෙළක් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පාසල් අවට දුම්වැට් අලෙවිය තහනම් කිරීමේ රෙගුලාසි කඩිනමින් පනවන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවිය තහනම් කිරීමේ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

බෝ නොවන රෝගවලට ජනතාව ගොදුරු වීම වළක්වා ගැනීමේ අරමුණෙන් රට පුරා ප්‍රදේශයන්හි පෝෂණ මන්දිර ඉදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවත් වසරකට රෝහල්ගත වන පිරිසගෙන් සියයට 70 ක් මරණයට පත්වනුයේ බෝ නොවන රෝග හේතුවෙන් බවත් ඇමැතිවරයා පෙන්වාදෙයි.

දුම්කොළ සදහා බදු පැනවීම ඇතුළු සිගරට් භාවිතය අවම කිරීමට ගත් ක්‍රියාමාර්ගයන්හිදී විවිධ බලපෑම් ඉදිරිපත් වුවත් ඊට යටත් නොවී රජය ගත් තීරණ ක්‍රියාවට නැංවීමට පසුබට නොවූයේ යැයි ද, තිරිගු පිටි භාවිතය අවම කර විකල්ප පරිභෝජන සදහා ජනතාව යොමු කිරීමට පියවර ගත්තේ යැයි ද ඇමැතිවරයා කීය.

සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ලබාදෙන මුදල් වියදම් කළ නොහැකි රාජ්‍ය සේවාවක් පැවැතීම කනගාටුවට කරුණක් බවත් දැනට පවතින රෙගුලාසි වෙනස් කිරීමෙන් මේ කනගාටුදායක තත්ත්වය මග හරවා ගැනීමට හැකි වනු ඇති බවත් ඇමැතිවරයා පවසයි.

රට පුරා පෝෂණ මන්දිර ඉදි කිරීමේ වැඩපිළිවෙළ යටතේ මහජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට හැකියාව ලැබෙන බවත් බෝ නොවන රෝගවලට වියදම් වන මුදල් ඉතිරි කර ගතහොත් එම මුදල් රටේ සංවර්ධන කටයුතුවලට යෙදවිය හැකි බවත් ඇමැතිවරයා පැවැසුවේය.