ධීවරයින් මරණමංචකයට යවා ආණ්ඩුව දැන් ඔක්සිජන් දෙන්න හදනවා

ධීවරයා මරණ මංචකයට යවා දැන් ඔක්සිජන් ලබා දීමට මේ ආණ්ඩුව සැරසෙන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

රට තුළ සෝචනීය තත්ත්වයක් මතුව ඇති බවත්, ධීවර ප්‍රජාව කඩා වැටී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මේ වන විට ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටින බවද ඒ මහතා පැවසීය.

මෙවැනි තත්ත්වයන් පිළිබඳව කලින් සිතා බලා තීරණ ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

දුර දිග සිතා බලා තීරණ නොගෙන පසුව ධීවරයින්ට සහන සැලසීමට කටයුතු කිරීමේ පදනමක් නොමැති බව පැවසූ ඒ මහතා කියා සිටියේ එවැනි පසුබිමක් තුළ ධීවර අමාත්‍යවරයා විසින් පත්‍රිකා ඉදිරිපත් කරනවා යැයි පවසමින් සිටින බවයි.

එමෙන්ම සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගන්නා බව අගමැතිවරයා ප්‍රකාශ කරද්දී අගමැතිගේ ප්‍රකාශය සමෘද්ධි අමාත්‍යවරයා විසින් හෑල්ලුවට ලක් කරන බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ මේ ආණ්ඩුව නාඩගම් මඩුවක් බවයි.

මෙලෙස ආණ්ඩු ඉදිරියට ගෙන යා නොහැකි බවද ඒ මහතා පැවසීය.

මේ අතර ඒ අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ රුපියල මස්ත බාල්දු වී අසාමාන්‍ය මිල වැඩිවීම් හමුවේ ජනතාව විශාල වශයෙන් පීඩනයට පත්ව ඇති බවයි.

මේ ආණ්ඩුව විසින් විනිමය කළමනාකරණය වරද්දා ගත් බවත්, මහින්ද රාජපක්ෂ යුගයේ විනිමය කළමනාකරණය ආදර්ශයට ගත්තානම් එසේ නොවන බවද ඒ මහතා කියා සිටියේය.

පසුගිය රජය සමයේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ ගියද එය ජනතාව මත නොපටවා අවාසිය රජය විසින් විද දරා ගත් බවත් ඒ මහතා පැවසීය.

ඒ හේතුවෙන් බිලියන 94.5ක අලාභයක් ලැබූ බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම භූමිතෙල් මිල ඉහළ දැමීම තුළින් ආණ්ඩුව විසින් දුප්පත් ජනතාවට එලව එලවා පහර දෙන බවද ඒ මහතා කියා සිටියේය.