ස්වර්ණාභරණ තොගයක් සමග අයෙකු රේගු දැලේ

නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙන ශ්‍රී ලංකිකයෙකු ඊයේ (15) දහවල් කටුනායක ගුවන්තොටුපලේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පවසයි.

මොහු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රෙදිපිළි ව්‍යාපාරිකයෙක් බව අනාවරණය වී තිබේ.

ඔහු අද දහවල් 10.30 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටියදී , රේගු නිලධාරීන් විසින් මෙම ස්වර්ණාභරණ තොගය අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙහි මාල , වළලු , අත් පළදනා , කරාබු ඇතුළු ග්රෑම් 339 ක් බර ස්වර්ණාභරණ තොගයක් තිබූ අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් 20,34,000 ක් බව විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල රේගුව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.