අතුරුදන් වූ චීන ජාතිකයා සොයා මෙහෙයුම්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසේ සේවය කරමින් සිටිය දී අතුරුදන් වූ චීන ජාතිකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.

පසුගිය 11 වනදා දිවයිනට පැමිණි මෙම චීන ජාතිකයා පසුගිය 12 වනදා සිට අතුරුදන්ව ඇති බව සඳහන්. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වන වැඩබිම් සේවකයෙක්. මේ සම්බන්ධයෙන් තිහගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කෙරෙනවා. මෙම පුද්ගලයා අතුරුදන්වූ බව කියන දිනයේ දී ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානය ආසන්නයේ පිහිටි නිවසක් වෙත ගොස් යළි රණ්දෙනිය රක්ෂිත ප්‍රදේශයක් වෙත ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙලි වී තිබෙනවා. ඒ අනුව එම රක්ෂිත කලාපයේ සෝදිසි මෙහෙයුම් සිදුකළා. එහි තිබී ඔහුට අයත් බවට සැක කෙරෙන ජංගම දුරකතනය, පාවහන් ඇතුලු ද්‍රව්‍ය හමුවී තිබෙනවා. මාතර ගැමුණු හේවා බලකා කඳවුරේ භට පිරිස් 6ක් සහ තිහගොඩ පොලිසිය එක්ව රක්ෂිතය තුළ මෙහෙයුම් සිදු කෙරෙනවා.