අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 12 ක් මරුට

ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිස්‍ර්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 137කට බලපෑම් එල්ල වී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පෙන්වදෙන්නේ මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර පවුල් 11,723කට අයත් පුද්ගලයින් 44,745ක් කඳවුරු වල සිටින බවයි.

මේ වන විට පවුල් 26,623කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 6913ක් පීඩාවට පත්ව සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

නිවාස 35කට පූර්ණ හානි ද නිවාස 2199ක් අර්ධ වශයෙන් හානි ද සිදුව ඇති අතර වෙනත් දේපළ හානි 751ක් වාර්තා වන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ අතර ආපදාවක සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් 1902 හදීසි ඇමතුම් අංකයක් ද ලබාදී තිබේ.

අදාළ අංකයට ඇමතීමෙන් අමාත්‍යංශ ලේකම්වරයාට තම ආපදා පිළිබඳව තොරතුරු ලබාදීමට හැකියාව පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

හදීසි ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සපයන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

සිදුවු හානි හා විපත් වෙනුවෙන් රජයක් ලෙස උපරිම සහන හා වන්දි ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

යම් හානියක් තම නිවසට හෝ දේපළ වලට සිදුව තිබේනම් ග්‍රාම නිලධාරීවරයාට ඒ පිළිබඳව හැකි ඉක්මණින් වාර්තා කරන ලෙසට ද ස්වදේශ කටයුතු අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර පවතින ගංවතුර හා ආපදා තත්වය යටතේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ නැති වූ හෝ විනාශයට පත්වූ ජාති හැඳුනුම්පත් , ගුවන් බලපත්‍ර, උප්පැන්න සහතික , ඔප්පු ආදී ලේඛන නැවත සකස් කරගැනීම සඳහා නීතී උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය පියවර ගෙන තිබේ.

ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා මහතා සඳහන් කළේ ඒ පිළිබඳව ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සහය ඉල්ලා සිටිය හැකි බවයි.