පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත හා සහෝදරයා යලිත් රිමාන්ඩ්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයෙකු වන. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනාව ලබන මස 07 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටින බැවින් මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර මහතා ඉදිරියේ මෙම නඩුව 24 වැනිදා කැඳවා තිබේ.

2008 නොවැම්බර් මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනක කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේදී එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි ධනසේන සූරසිංහ මහතාට පහර දී රාජකාරියට බාධා කරන ලදැයි චූදිතයින්ට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මෙම නඩුව විභාගය සඳහා කැදවීමෙන් අනතුරුව චූදිතයින්ව ඇප මත මුදා හැර ඇත.

සෑම ඉරු දිනකම හලාවත පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද එහිදී ඇප කොන්දේසියක් පනවා ඇති අතර නමුත් පසුගිය 2017 ජූනි මස 17 වැනිදා සිට චූදිතයින් ඇප කොන්දේසි කඩ කර ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව පසුගිය අප්‍රියෙල් මස 04 වැනි දින මෙම නඩුව හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා ඉදිරියේ කැදවන ලදි.

එහිදී චූදිතයින් විසින් ඇප කොන්දේසි කඩ කර ඇති බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු වරයා නඩුව නැවත කැදවීම මැයි මස 24 වැනිදා දක්වා කල් තබා එදින දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.