මංජුලාගේ කීමට ඩිල්ෂාන් නළුකම තෝරා ගනී

කාලයක් ක්‍රිකට් පිටිය හොල්ලපු තිලකරත්න ඩිල්ෂාන් කියන ක්‍රීඩකයා අද නළුවෙක් බවට පත් වෙලා. මොකක්ද මේ වෙනස?

ඇත්තම කියනවා නම් මේක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මගේ ආදරණීය බිරිඳ මංජුලාට තමයි “මිතු” ටෙලි නාට්‍යයට මුලින්ම ආරාධනා ලැබුණේ. ඒ ගැන කතාකරන්න මංජුලා එක්ක මාත් ගියාම “මිතු” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ශාන්ත සොයිසා “ඩිල්ෂාන් චරිතයක් තියෙනවා කරන්න… කැමතිද?” කියලා මගෙන් ඇහුවා. මුලදී මම කැමති වුණේ නැහැ. ඊට පස්සේ මටත් ඒක අමතක වුණා. ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙලට මම මංජුලා එක්ක ගියාම එතනදීත් ශාන්ත අයියාගෙන් ලොකු ඉල්ලීමක් තිබුණා. “මල්ලී අපි මේක කරමු.. ඔයාට රඟපාන්න පුළුවන්’’ කියලා මාව දිරිමත් කළා. පස්සේ මංජුලාත් කිව්වා. “ඩිල් ඔයාට පුළුවන්…. අපි මේ චරිතේ කරමු…” කියලා ඔය විදිහට තමයි මම පුංචි තිරේට නළුවෙක් විදියට පය තිබ්බේ.

මේ ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ මොන වගේ චරිතයක්ද?

චරිතයේ නම තිස්ස. තිස්ස කියන්නේ ලිපිකරු රස්සාවක්. කරන ගමක ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෙක්. තිස්සගේ බිරිඳ විදියට රඟපාන්නේ නයනා කුමාරි. චරිතය ගලාගෙන යන ආකාරය ගැන වැඩි විස්තර කිව්වොත් කුතුහලය නැතිව යන්න පුළුවන්. ඇත්තටම මේ ටෙලි නාට්‍ය පුරාම කුතුහලය දිව යනවා. තව හොඳ හොඳ දේවල් ඒක ඉස්සරහට බලාගන්න පුළුවන්.

ඔබ මීට කලින් චිත්‍රපටයකත් සුළු රඟපෑමක් කළා නේද?

ඔව්, මම “සිංහාවලෝකනය” කියන චිත්‍රපටයේ ආරාධිත රංගනයක් කළා. ඒත් තිස්ස කියන්නේ ඊට එහා ගිය විශේෂ රංගනයක්. ඇත්තටම මට මේ චරිතය රඟපෑම විශාල අභියෝගයක් වුණා. මොකද මම ජීවත් වෙන පරිසරයෙන් වෙනස්ම පරිසරයක ජීවත් වෙන චරිතයක් තමයි තිස්ස කියන්නේ. බොහොම තැන්පත්ව කොණ්ඩේ පැත්තට පීරපු චරිතයක් නිසා පෙනුමෙනුත් මට ගොඩක් වෙනස් වෙන්න සිදුවුණා. මංජුලාගෙන් වගේම මිතු ටෙලි කණ්ඩායමෙනුත් මේ වෙනස සඳහා මට ලොකු සහයෝගයක් ලැබුණා.

ඔය කියන විදියට ඔබව නළුවෙක් කිරීම පිටුපස ඉන්නේ මංජුලා?

ඇත්තටම ඔව්. එයාගේ දිරිගැන්වීම නැත්නම් මම මේ චරිතය වුණත් බාර ගන්නේ නැහැ.

මෙච්චර කලක් ක්‍රිකට් ගහපු තාත්තා නළුවෙක් වෙලා ටී.වී. එකේ ඉන්නවා දකින කොට දරුවෝ මොකද කියන්නේ?

චුටි බබා නම් තවම ගොඩක් පුංචියි. ඒත් ලොකු බබාලා තුන්දෙනාම ඩ්‍රාමා එක පටන් ගන්නකොටම කොහේ හිටියත් දුවලා ඇවිල්ලා ටී.වී.එක ඉස්සරහින් වාඩි වෙනවා. මට දැන් එයාලා ටී.වී. බලන එකත් නවත්තගන්න බැරුවයි ඉන්නේ.

ඩිල්ෂාන් ඉස්සරහටත් නළුවෙක් විදිහට ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබේවිද?

ඒක ඉතින් අපි ඉස්සරහට බලමු නේද? දැනට මේ ලැබිලා තියෙන අවස්ථාවට සාධාරණයක් ඉෂ්ට කරන්නයි මට ඕනෑ. මොකද ක්‍රිකට් ගහපු ඩිල්ෂාන් නළුවෙක් වෙයි කියලා කවුරුත් හිතුවේ නෑනේ. ඒ නිසා රංගනය පැත්තෙන් මගේ ජීවිතේ මොන වෙනසක් වෙයිද කියලා මමවත් තවම දන්නේ නැහැ.

ඩිල්ෂාන් සිරස Got Talent වැඩසටහනේ විනිසුරුවරයෙක් විදිහටත් මේ දවස්වල ජනතාවගේ ආදරේ දිනාගෙන සිටිනවා. කොහොමද ඒ අත්දැකීම?

ඇත්තටම මම හරි වාසනාවන්තයි. මොකද මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතර රැඳෙන්න මට කොහෙන් හරි අවස්ථා ලැබෙනවා. Got Talent වැඩසටහන හරහා සුපිරි දක්ෂයන් ලෝකයට හඳුන්වා දෙන්න මටත් අවස්ථාවක් ලැබිම ගැන හරිම සතුටුයි.