දවල්ට ත්‍රීවීල් එළවලා හවසට ගිහින් නංගිත් එක්ක නටනවා

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රටම දන්නා තරුණ නිළියක් වුණාට ඇය කිසිවෙකු බලා‍පොරොත්තු නොවුණු විදියේ රැකියාවක් තෝරාගෙන කියලා සමහරු නම් මේ දවස්වල කියනවා. මේ ගැන තව ටිකක් සොයා බලන්න රූප පෙට්ටිය දැම්මාම ඇය ත්‍රීවීල් රස්සාව හරි අපූරුවට කරන හැටි අපිටත් දකින්න ලැබුණා. දවල්ට ත්‍රීවීල් රස්සාව කරලා හවසට ගෙදර ගිහින් නංගිත් එක්ක ගේ දෙවනත් වෙන්න නටනවා කියලත් ඇය අපිත් එක්ක කිව්වා.

කොහොමද මේ දවස්වල ත්‍රීවීල් හයර් එහෙම හොඳට වදිනවද?
ඔව්…. ඔව්… මේ දවස්වල හොඳට හයර් තියෙනවා. ස්වාධීන රූපවාහිනියේ සතියේ දිනවල රාත්‍රී 7.30ට විකාශනය වෙන රෝද තුනේ මනමාලි ටෙලි නාට්‍යයේ රෝද තුනේ මනමාලි වුණ හින්දයි මට ත්‍රීවිල් එළවන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම සෙව්වන්දි කියන්නේ මගේ රංගන ජීවිතයට ලැබුණ සුවිශේෂී අවස්ථාවක් කියලා කියන්නම ඕන.

ඔබේ රංගන ජීවිතයට ලැබුණ ඒ සුවිශේෂී චරිතය රෝද තුනේ මනමාලි වෙලා ඔබ ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොමද කියලා ඇහුවොත්?
ත්‍රීවීල් එලවලා පවු‍ලේ බර කරට අරගෙන පවුල වෙනුවෙන්ම කැප වෙන දිරිය යුවතියකගේ චරිතයක් තමයි මම රෝද තුනේ මනමාලි (සෙව්වන්දි) විදියට නිරූපණය කරන්නේ.
මෙතෙක් රඟපෑ චරිතවලට වඩා මේ සෙව්වන්දි කියන චරිතයේ විශේෂත්වයක් තියෙනවා. ඒ නිසා මේ චරිතය රඟපාන්න ලොකු කැප කිරීමක් සහ වෙහෙසක් ගන්නත් මට සිදු වුණා.

දිනක්ෂිට මීට කලින් ත්‍රීවිල් එහෙම එළවන්න පුළුවන්කමක් තිබුණද?
අ‍පොයි නෑ. මීට කලින් ත්‍රීවීල්වල නැගලා ගමන් බිමන් ගියාට ඩ්‍රයිවර් සීට් එකේ ඉඳගෙනවත් තිබුණේ නැහැ. ඒ හින්දා ත්‍රීවීල් එක පදින්න පුරුදු වෙන්න මට මාස දෙක තුනක් විතර ගියා. ත්‍රීවීල් පදින්න පුරුදු වෙන්න කාලය වෙන් කර ගැනීමත් මට ප්‍රශ්නයක් වුණා. අපි ලෙහෙසියට නැගලා ගියාට ත්‍රීවීල් එළවන එක කොච්චර අමාරුද කියලා දැන ගත්තේ ඒක පදින්න පුරුදු වුණාට පස්සේ. ඒත් නිළියක් විදිහට හරි ත්‍රීවීල් පදින රස්සාව කරනකොට මේක හරි අපූරු රැකියාවක් කියන එක නම් මට තේරුණා.

ත්‍රීවීල් සෙව්වන්දි සහ දිනක්ෂි අතර තියෙන්නේ මොන වගේ සමානකමක්ද?
මගේ ජීවිතේ සහ ත්‍රීවීල් සෙව්වන්දි අතර තියෙන ලොකුම වෙනස තමයි දිනක්ෂි ත්‍රීවීල් රැකියාවක් කරන්නේ නැහැ කියන එක. මම ත්‍රීවිල් එකක් තියා නිකන් වාහනයක්වත් පදින්නේ නැහැ. ඒ වුණත් මගේ ජීවිතේ සිද්ධ වෙන දේවල්ම තමයි සෙව්වන්දිටත් සිද්ධ වෙන්නේ.

මේ වෙනකොට සෙව්වන්දි හරහා දිනක්ෂිට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ටෙලි නාට්‍යයේ රඟපානකොට මම මහ පාරේ ත්‍රීවීල් එක පදවාගෙන යනවා. එතකොට සමහරු හයර් යන්න මගේ වාහනෙට අත දානවා. සමහරු මාව අඳුනගෙන එක එක දේවල් අහනවා. ඒත් සෙව්වන්දිගේ ඇඳුම ටිකක් චණ්ඩි පාට තියෙන නිසා ගොඩක් අයට මාව හරියටම හඳුනගන්න බැහැ.

එතකොට මේ දවස්වල ශනුද්‍රිත් එක්ක එකතුවෙලා ගේ දෙවනත් වෙන්න නටනවා කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?
කතාව නම් ඇත්ත තමයි. මොකද ශනුයි මමයි මේ දවස්වල ඩාන්සින් ප්‍රැක්ටිස් කරනවා. මමයි ශනුයි දෙරණ ස්ටාර් සිටි වැඩසටහනේ සෙමි ෆයිනල්වලට සිලෙක්ට් වෙලයි ඉන්නේ. දෙරණ ස්ටාර් සිටි පළවෙනි වැඩසටහනෙත් මම නැටුවා. එහිදීත් මම හිටපු කණ්ඩායම ජයග්‍රහණය කළා. මේ පාරත් කොහොම හරි නංගි එක්ක එකතු වෙලා අර්ධ අවසන් පූර්ව වටයට ඇවිල්ලා ඉන්නවා. මේ පාරත් හොඳ තරගයක් දෙන්න බලා‍පොරොත්තු වෙන හින්දා අපි දෙන්නම ගේ දෙවනත් වෙන්න දැන් නටනවා.

දෙරණ ස්ටාර් සිටි වේදිකාවේදී ඔබ දෙදෙනාට ලොකු සප්‍රරයිස් එකකුත් ලැබුණා නේද?
ඔව්නේ. අපි දෙන්නා ඩාන්ස් කරලා ඉවර වුණ හැටියේම මෙන්න ශේෂාද්‍රිත් වේදිකාවට ඇවිත් අපි දෙන්නව සප්‍රයිරයිස් කළා. මෙච්චර කාලයක් අපේ හැඩකාරී මාධ්‍ය ඉස්සරහට ආවේ නැහැනේ. ඒත් ඉතින් ස්ටාර්සිටි වේදිකාව වෙනුවෙන් ශේෂාද්‍රි හැමෝම පුදුම කරන්න අපි දෙන්නා ඉස්සරහට ආවා.