උඩරට එළවළු ගණන් උස්සයි

කන්ද උඩරට ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන කැරට්, බෝංචි, මාළු මිරිස්, ලීක්ස්, කිලෝවක තොග මිල රුපියල් 320 දක්වා ඊයේ (31දා) පස්වරුවේ ඉහළ ගිය බව වෙළෙන්දෝ පවසති.

පසුගිය දිනවල පැවැති  ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළුවල ප්‍රමාණය අඩු වීමත් සමග මිල මෙසේ ඉහළ ගොස් ඇතැයි ඔවුහු සඳහන් කරති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (31දා) පස්වරුවේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 320ක් වූ අතර, කැරට් කිලෝවක තොග මිල රුපියල් 290ක් විය, ලීක්ස්  කිලෝවක් රුපියල් 250ත් – 260ත් අතර මිලකට අලෙවි විය, මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 250ත් – 300ත් අතර ඉහළ අගයක් ගෙන තිබිණි.

පහතරට එළවළුවල මිල මීට සාපේක්ෂව ඉහළ ගොස් නැති බව ව්‍යාපාරිකයෝ පවසන අතර, වම්බටු, බණ්ඩක්කා, වට්ටක්කා, කැකිරි, පතෝල, පිපිඤ්ඤා  ආදී  පහතරට එළවළු කිලෝවක තොග මිල රුපියල් 40 සිට 80 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ බව ඔවුහු පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව සිල්ලර එළවළු වෙළෙඳසැල්වල බෝංචි  කිලෝවක් අලෙවි වූයේ රුපියල් 400ක මිලකටය. ලීක්ස්  කිලෝවක  සිල්ලර මිල සටහන් වූයේ රුපියල් 350ක් ලෙසය.  මෙහිදී කැරට්  කිලෝව රුපියල් හාරසියයකට අලෙවි වීමද විශේෂත්වයකි. මාළු මිරිස් කිලෝවක සිල්ලර මිලද රුපියල් හාරසියක් බව සිල්ලර වෙළෙන්දෝ පවසති. ඉදිරි දින කිහිපය තුළද සීඝ්‍රයෙන් එළවළු මිල ඉහළ යනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කර සිටිති.