මිල්කෝ සමාගමට මිලියන 500ක පාඩුවක්

නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම හේතුවෙන්, වෙළෙඳ පොළට නිකුත් කිරීමට නොහැකි වූ හයිලන්ඩ් කිරිපිටි පැකට් ලක්ෂ 15ක් හේතුවෙන් මිල්කෝ සමාගමට රුපියල් මිලියන 500ක පාඩුවක් අත්විඳින්නට සිදු වී ඇත.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කර තමන් වෙත වාර්තාවක් ලබා දෙන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා එම නිලධාරීන්ට නියෝග කර තිබේ.

මේ පරීක්ෂණ වාර්තාව ඇමැතිවරයා විසින් ජනාධීපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ කිරිපිටි තොගය වෙළෙඳ පොළට නිකුත් කර නැති බව වගකීමෙන් යුතුව තමා පවසන්නේ යැයි ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා කියයි.

මිල්කෝ සමාගම මගින් කිරිගොවීන්ගෙන් මිල දී ගත් කිරි ඇසුරෙන් කිරිපිටි නිෂ්පාදන කිරීම සඳහා මෙයට වසර 05කට පමණ පෙර මිල දී ගත් නව යන්ත්‍රය මගින් නිපදවා ඇති මේ කිරිපිටි තොගයේ රසයේ යම් වෙනසක් මතුවී ඇති අතර, මේ හේතුව නිසා එම කිරිපිටි ප්‍රමිතියෙන් තොරවී තිබේ.

මේ යන්ත්‍රය මගින් නිෂ්පාදිත ග්‍රෑම් 400 බරැති කිරිපිටි පැකට් ලක්ෂ 15ක් අඹේවෙල ගබඩාවේ ගබඩා කර තිබූ අතර, හදිසියේම පසුගිය දිනෙක එහි ගිය ඇමැති විජිත් විජයමුණී සොයිසා මහතාට මේ කිරිපිටි තොගය දැකගත හැකිවී තිබේ.

ඊයේ (01) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී මේ තොරතුරු අනාවරණය කෙරුණු අතර, එහි දී ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් වගකිවයුතු අයට තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එහි දී ඇමැතිවරයා මෙසේ ද කීය.

‘අප ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යංශය භාර ගත්තේ මේ වසරේ මැයි මස 21 දායි. ඒ වන විට මිල්කෝ ආයතනයේ ණය බර රුපියල් මිලියන 1078ක්. රුපියල් මිලියන 992ක බැංකු අයිරා ලබා ගෙන තිබුණා. ණය පිට ණය ලබා ගෙන තිබූ මේ ආයතනයේ ගබඩාවක ගොඩ ගසා තිබුණු ප්‍රමිතියෙන් තොර කිරිපිටි පැකට් ලක්ෂ ගණනාවක් හමු වුණා. අඹේවෙල කර්මාන්ත ශාලාව ගොඩනැ‍ඟීමේ සමාගම මගින් මේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයට ලබා දී තිබූ යුරෝ මිලියන 3.7ක මුදලින් යුරෝ මිලියන 1.3ක් අමාත්‍යංශය විසින් යළි ලබා නොදීමට තීරණය කළා. මේ මුදල අඹේවෙල කර්මාන්ත ශාලාව නවීකරණය කිරීමේ කටයුතු වෙනුවෙන් යොදා ගන්නවා. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට කටයුතු යොදා තිබෙනවා. දැනට පවතින කිරි තොග පවා වත්කම් ලෙස පෙන්වා පසුගිය කාලයේ ණය අරගෙන තිබෙනවා. මේවාට හිටපු ඇමැතිවරුන්ට දොස් කියා වැඩක් නෑ. මේවා නිලධාරීන්ගේ පරිපාලනයේ වැරැද්ද. ’

‘දුප්පත් කිරි ගොවියාගේ කිරි මිල දී ගන්නේ මිල්කෝ ආයතනයයි. අපි කිරි ගොවියාට දෙමසකින් සල්ලි ගෙවලා නෑ. මේ වගේ අලාභ සිදු වන විට එම කටයුතු ප්‍රමාද වනවා. රුපියල් මිලියන 430ක් දේශීය කිරි ගොවියාට ගෙවන්නට මේ වන විට තිබෙනවා. මෙයින් මේ වන විට රුපියල් මිලියන 260ක මුදලක් ඉතා අමාරුවෙන් සොයාගෙන කිරි ගොවීන්ට ගෙවන්නට කටයුතු කළා. මිල්කෝ ආයතන ගබඩාවන්හි බැරල්වල බටර්, චීස් එළඟිතෙල් ගොඩ ගැහිලා. අපේ මේ නිෂ්පාදන ගුණයෙන් රසයෙන් ඉහළයි. බේකරි හිමියන් සඳහා මේ තොග ලබා දෙන්නට පුළුවන්. මේවා පිටරටින් ගෙන්වන්නට අවශ්‍ය නෑ. යෝගට් කිරි ඉතා හොඳ පෝෂණ ගුණයෙන් යුතුව අප නිෂ්පාදනය කරනවා. වෛද්‍යවරුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ නිෂ්පාදනවල පෝෂණ ගුණය පිළිබඳ නිවැරැදි තොරතුරු ජනතාවට ලබා දෙන ලෙසයි.

මාස තුනක් ඇතුළත මිල්කෝ ආයතනය දියුණුකර ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බවට මම පොරොන්දුවක් දෙනවා. ඒ සඳහා සැලසුම් මා සතුවනවා යැයි ද කීය. මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී උදාර විජයමුණි සොයිසා, මිල්කෝ ආයතනයේ නව සභාපති සුල්ෆිකාර් කාදර් මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.