නායක හෝල්ඩර් හා ඩෝවරිච් කොදෙව් ඉනිම ගොඩනගති

නායක ජේසන් හෝල්ඩර් හා ෂේන් ඩොව්රිච් හය වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටුවූ ලකුණු 90ක සබඳතාව මත ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් ඔෆ් ස්පේන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පෙරේදා පළමු දින අවසන් වරුවේදී යළි තරගකාරී තත්තවයකට පිවිසීමට බටහිර ඉන්දීය කොදෙව් පිලට හැකි විය.හෝල්ඩර් හා ඩොව්රිච් ගොඩනැගුවේ ලකුණු 147කට කඩුලු 5ක් බිඳ වැටී තිබූ කොදෙව් ඉනිමය. දෙවැනි නව පන්දුව ලබා ගැනීමට පෙර දිනයේ අවසන් පැයේ පසු භාගයේදී හෝල්ඩර් දැවී ගිය අතර පළමු දිනය අවසන් වන විට කොදෙව්වෝ කඩුලු 6කට ලකුණු 246ක් රැස්කර ගෙන සිටියහ. පිටියේ ස්ථාවර වෙමින් සිටි කිසිම පිතිකරුවෙකුට ලොකු ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වීම පිළිබඳව කොදෙව්වන් පසුතැවෙනු ඇත.

ඩොව්රිච් පමණක් නොදැවී ලකුණු 46ක් ලබා ගෙන අර්ධ ශතකයක් අභියසට පැමිණ සිටි අතර අනෙක් පිතිකරුවන් සිවු දෙනෙකු ඔවුන් ලබා ගත් හොඳ ආරම්භයෙන් ඉදිරියට යාමට අසමත් වූහ.ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වැඩිම දස්කම් දැක්වූ ලහිරු කුමාර දිනය නිමා වන විට ලකුණු 57කට කඩුලු 3ක් ලබා ගෙන සිටියේය. උඩ පන්දු ගිලිහී යාමේ අවස්ථා දෙකක්ද තිබිණි.

කෙසේ වෙතත්, ඕවර 90ක් අවසන් කිරීමට අසමත් වූ ශ්‍රී ලංකාව පළමු දින තරගයේදී යවා තිබුනේ ඕවර 84ක් පමණි.උදය වරුව තරගයේදී කොදෙව්වන් ඕවරයකට ලකුණු 4 බැගින් වන පරිදි ලකුණු 100ක් රැස් කළද ඔවුන්ගේ කඩුලු විටින් විට බිඳ වැටිනි. කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඉනිම ආරම්භයේදී සුරංග ලක්මාල් හා ලහිරු ගමගේ ඉලක්කයට පන්දු යැවීමට සමත් වූහ.

ක්‍රේග් බ්‍රැත්වේට් (3), තෙවැනි ඕවරයේදී ලක්මාල්ගේ ගොදුර බවට පත්වෙමින් නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නා වෙත උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු 4දී දැවී ගියේය.

ශක්තිමත් ආරක්ෂාකාරී ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කරන අතරවාරයේ දුර්වල පන්දුවලට පහර දෙමින් කීරන් පවල් අගනා පිතිකරණයක නිරත විය. තෙවසරක් ඇතුළත සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩෙවොන් තෝමස්, පවල්ට සහාය දැක්වීමට උත්සාහ කළද කඩුලු අතර දුර්වල දිවීම හේතුවෙන් ලකුණු 7කට දැවී ගියේය. පවල් හා ෂායි හෝප් මුළු ලකුණු සංඛ්‍යාව 40 සිට 80 දක්වා ගෙන එමින් සිටියදී කුමාරගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පවල් ලකුණු 38කට දැවී ගියේය.

හෝප් මුළු ලකුණු 134දී කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 44කට දැවී ගියේය. රොස්ටන් චේස් (38)ගේ කඩුල්ල ලබා ගත්තේ රංගන හේරත් ය. පස්වැනි කඩුල්ල බිඳ වැටෙන විට කොදෙව් මුළු ලකුණු ප්‍රමාණය 147ක් වී තිබිණි. මුළු ලකුණු 237දී හය වැනි කඩුල්ල ලෙසින් හෝල්ඩර් දැවී ගියේද දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමිණි. එම කඩුල්ල ලබා ගත්තේද ලහිරු කුමාර ය.