“එදා අම්මා අසනීපෙන් කියන පණිවිඩය ආවා, මගේ ඔලුවේ වැඩ කළේ ඉක්මනින් අම්මව රෝහල් ගත කරන එක ගැන..” – දීපානි සිල්වා

“මේක මේ රංග ශිල්පිණියක් කර ගත්තු පළමු අනතුරද..”

“මඩ ගැසීම තනිකරම දේශපාලන පළිගැනීමක් කියලයි මට හිතෙන්නේ..”

“ඇතැම් අය කියලා තිබුණා මං බීමතින් හිටියා මා එතැනින් පලා ගියා කියලා ..”

සිංහල ටෙලි තිරයේ නිර්ව්‍යාජ ගැමි චරිතය කව්වද කියලා ඇහුවොත් ඊට කදිම නිදසුන ලෙසින් දීපානි සිල්වාගේ නම කියන්න පුළුවන්. එතරම් ඒ චරිතය පුංචි තිරයට සමීපයි. මෙහෙකාරිය, ආදරණිය අම්මා වගේම සහෝදරිය විදිහට පුංචි තිරයට ආ දිපානිට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. පසුගියදා ඇයගේ වාහනය අනතුරකට ලක් වෙනවා. ඒ ගැනත් විවිධ මත පළ වුණා. ඒ ගැන ඇත්ත නැත්ත දීපානි කියන්නේ මෙහෙමයි.

මම මගේ අම්මට හරිම ආදරෙයි. මගේ සෙවණේ නොසිටියත් මං නිරන්තරයෙන් ඇය ගැන අවධානයෙන් සිටිනවා. අක්කා ගාව තමයි අම්මා ඉන්නේ. ඇයට දැන් වයස අවුරුදු අනූ හතක්. ඔහොම ඉන්නකොට රාත්‍රියක මට අක්කගෙන් දුරකතන ඇමතුමක් එනවා අම්මා අසනීප වෙලා කියලා. මං ඊට පහුවෙනිදා පාන්දරම අම්මව බලන්න ගියා. මං උදෙන්ම වාහනයට නගින්න හදද්දී මං නැවතිලා ඉන්න ගෙදර අය මට කිව්ව මේ පාන්දර යන්න එපා. දවල් වෙලා යමු ඒ අයත් එන්නම් කියලා.

මං ඒ වුණාට ඒ වෙලාවෙම ආවා. මගේ ඔලුවේ වැඩ කළේ ඉක්මනින් අම්මව රෝහල් ගත කරන එක ගැන. බණ්ඩාරගම කිඳෙල්පිටිය හන්දියේ තියෙනවා ලොකු වංගුවක්. එතැන ගොඩක් භයානකයි. ඔය හරියෙදි එහා අන්තයෙන් ආව ත්‍රීවිල් එකක් මගේ වාහනේ වැදුණා. ඒ වැරැද්ද එක පැත්තකට විතරක් මං පවරන්නේ නැහැ. අපි දෙපාර්ශවයම වැරැදියි. ත්‍රීවිල් එකේ හිටපු පොඩි ළමයව එළියට විසි වුණා. ඒ වෙලාවෙම ඒ ළමයව කළුබෝවිල රෝහලට ගෙනිච්චා. බෙහෙත් දාගෙන පැය 24 කට පසුව ටිකට් කැපුවා.

නමුත් මේ පිළිබඳ පළ වූ ප්‍රවෘත්ති සියල්ලගේම සඳහන් වූයේ ඒ ළමයට බරපතළයි කියලනේ?
ඒ විතරක් නෙවෙයි, ඇතැම් අය කියලා තිබුණා මං බීමතින් හිටියා කියලත්. මා එතැනින් පලා ගියා කියලා කියපු අයත් හිටියා. මේ කිසිම කෙනෙක් සිද්ධිය වුණ පැත්ත පළාතකවත් හිටියේ නැහැ. මේක මේ රංග ශිල්පිණියක් කර ගත්තු පළමු අනතුරද? නෑ. ඒත් මේ සිද්ධිය මහා ලොකු දෙයක් කර ගත්තා. මේ නිසාමයි මමත් දැනගත්තේ මං ඒ වගේ ජාතික සම්පතක් කියලා.

සමාජ ජාලවලින් ඔබට මඩ ගැහැව්වා. ඒවාට පිළිතුරු දෙන්න ගියේ නැත්තේ ඇයි?
ඇයි මං ඒවාට පිළිතුරු දෙන්න යන්නේ. සමාජ ජාල කියන්නේ මිනිස්සුන්ගේ දුක, සතුට, වෛරය, ද්වේශය ආදී හැඟීම් බෙදා ගන්නා තැනක්. එතැන පළ කරන බොහෝ පුවත් සත්‍ය නෙවෙයි. ඒ නිසා මං කලබල වෙලා ඒවාට පිළිතුරු දෙන්න පටන් ගත්තොත් ඒ පිළිතුරුවලත් වැරැදි සොයමින් ඒ වැරැදි පළ කරාවි. ඊට වඩා හොඳයි මෙහෙම නිහඬව ඉන්න එක.

නමුත් ඔබ සහෝදර කලාකරුවන් ඔබට මඩ ගැසූ පුවත්වලට කමෙන්ට් දක්වා තිබුණා?
ඔව්. මගේ සහෝදර කලාකරුවන් මට එවලේ ඉඳන්ම කතා කර කර දුක සැප ඇහැව්වා. වෙන්න ඕන දේවල් මොනවද ඇහැව්වා. ඒ අය දන්නවා මගේ නිවැරැදිභාවය. ඒ වෙනුවෙන් තමයි ඔය විදිහෙ කමෙන්ට දාන්න ඇත්තේ.

මේ අනතුර දිගේ ඔබට දිගින් දිගටම මඩ ගහන්න ඇත්තේ කවුරු කියලද ඔබ හිතන්නේ?
ඔය ආව මඩ ගැසීම තනිකරම දේශපාලන පළිගැනීමක් කියලයි මට හිතෙන්නේ. පුද්ගලික තරහවල් පිරිමහා ගන්න පොටක් හොය හොය ඉන්න කොට මේ දෙයත් ඇති මඩගහන්න. ඒකයි මේ සිද්ධ වුණේ.