අපට විශාල ප්‍රශ්නයක් විසඳීමට පුළුවන් ඔබ හමුවීම ගෞරවයක් – කිම්ට අත දෙමින් ට්‍රම්ප් කියයි

ඉතා හොඳ සබඳතාවක් ඇතිකර ගැනීමට අපේක්ෂා කරන ඔබ හමුවීමට ලැබීම විශාල ගෞරවයක් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ට පවසා සිටියේය.

එහිදී, කිම් පවසා සිටියේ මෙතැනට පැමිණීම පහසු කාර්යයක් නොවූ බවත්, අතීත සිදුවීම් සහ ක්‍රියාකාරකම් මේ ගමනට බාධා ‍ඇති කළත්, ඒ සියලු බාධක ජයගැනීමට ඔවුනට හැකි වූ බවය.

එය සත්‍යයක් යැයි පැවසූ ට්‍රම්ප් තම අලුත් මිතුරාගේ අත අල්ලාගෙන හා ඔහුට තට්ටුවක්ද දමමින් අතට අත දෙන ආකාරය බොහෝ දෙනෙකු විශ්මයෙන් බලා සිටි සිදුවීමක් විය.

ඉතිහාසය වෙනස් කරමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග ඒ ඓතිහාසික හමුව ආරම්භ වූයේ එලෙසිනි.

න්‍යෂ්ටික අත්හදා බැලීම්, බැලස්ටික් මිසයිල එල්ල කිරීම් මෙන්ම වෛරී ප්‍රකාශ සිදුකරමින් හා කොරියානු කලාපයට දැවැන්ත යුද නෞකා රැස් කරමින් යුද වාතාවරණයක් ඇති කළ නායක දෙපළක් මේ ආකාරයෙන් සැහැල්ලුවෙන් අතට අතදීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව නොකියාම බැරිය.

"මෙය ෆැන්ටසියක් යැයි ලෝකයේ බොහෝ ජනයා සිතාවි. ඒ වගේම මේ විද්‍යා ප්‍රබන්ධ කතාවක් යැයි තවත් අය සිතාවි…" යනුවෙන් පවසා සිටියේ කිම් ජොන්ග්-උන් ය.

"ඇත්තටම මට විශාල සතුටක් දැනෙනවා. අප ඉතා හොඳ සාකච්ඡාවක් පවත්වන්වයි යන්නෙ. මම හිතන්නෙ සුවිශේෂී සාර්ථකත්වයක් අපට ලබාගන්න පුළුවන් වේවි. අපට විශාල ප්‍රශ්නයක් විසඳීමට හැකි වනු ඇති. සැබවින්ම අප නොසිතන සාර්ථකත්වයක් ලබාවි. ඒ වගේම මෙය ගෞරවයක්. අපට දැවැන්ත සබඳතාවක් ඇති කරගැනීමට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ ගැන සැකයක් නෑ…" යැයි පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.