කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් පැමිණි ජීප් රථය අල්ලයි

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්. සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථය මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (12) රාත‍්‍රියේ මෙම වෙඩි තැබීම සිදු වූණා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් පැමිණි ජීප් රථය මේ වනවිට පොලිස් භාරයට ගෙන පරීක්ෂණ සිදු කෙරෙන බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ “ස්වාමින් වහන්සේලාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවටයි වාර්තා වෙන්නේ. සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම කතරගම පොලිසියට අවශ්‍යකරන තොරතුරු ලැබුණා. ලැබී තිබෙන සාර්ථක තොරතුරක් ඔස්සේ මේ වන විට විමර්ශන සිදු කරනවා. අද දිනය තුළ කෙසේ හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.