ඊයේ දිවුරුම් දීමෙන් දෙමළ ජනතාව හෑල්ලුවට ලක් වුණාලු

උතුරු සංවර්ධන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය කාදර් මස්තාන්ට. ලබාදීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂවලින් විරෝධතා එල්ල වනවා.

ටෙලෝ සහ ප්ලොට් සංවිධාන එම තීරණයට විරෝධය පළ කරමින් නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම පක්ෂ දෙකම පෙන්වා දී ඇත්තේ මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරයෙකුට හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයක් ලබාදීම දෙමළ ජනතාව හෑල්ලූවට ලක් කිරීමක් බවයි.

ටෙලෝ සංවිධානයේ මහ ලේකම් පී. උදයරාසා ප‍්‍රකාශ කර ඇත්තේ හින්දු ජනතාව විසින් පූජනීයත්වයෙන් සලකනු ලබන ගවයාට වද හිංසා පමුණුවමින් ගව ඝාතනය ව්‍යාපාරයක් කරගෙන ඇති පවුලක මන්ත‍්‍රීවරයෙකුට මෙම අමාත්‍යංශය ලබාදීම තරයේ හෙළා දකින බවයි.

හින්දු ධර්මය පිළිබඳ දැනුමක් නොමැති අයෙකු හට හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ප්ලොට් සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් පෙන්වා දී තිබෙනවා.

මෙම පත් කිරීමත් සමග දෙමළ ජාතික සන්ධානයේ මෙන්ම දෙමළ දේශපාලන ධාරාව තුළත්, දෙමළ ජනතාව තුළත් රජය කෙරෙහි විවේචනාත්මක සංවාදයක් මතුව ඇති බවයි ඔහු සිය නිවේදනය මගින් පෙන්වාදී ඇත්තේ.

එබැවින් හින්දු ආගමික කටයුතු විෂය හින්දු භක්තික අමාත්‍යවරයෙකු වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ප‍්‍රකාශ කර තිබෙනවා.