ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති මහින්ද හමුවී ගෝඨා ගැන ප‍්‍රශ්න 02ක් අහයි

සිය නිල කාලය අවසන් කර දිවයිනෙන් නික්ම යාමට නියමිත ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති. අතුල් කේශප් ඉකුත්දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

මෙම හමුවේදී අමෙරිකානු තානාපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනප‍්‍රියත්වයක් නොමැති පුද්ගලයෙකුදැයි තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයාට ජනතාව බියක් දක්වන්නේ ද යන්න තානාපතිවරයා විසින් එහිදී විමසා තිබෙනවා.

එවැනි බියක් නොමැති බව ප‍්‍රකාශ කර ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවැනි ප‍්‍රශ්නයක් විමසුවේ ඇයිදැයි තානාපතිවරයාගෙන් ප‍්‍රශ්න කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා. කෙසේනමුත් ඊට ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් සඳහන් වන්නේ නැහැ.

මේ අතර සිය නිල කාලය අවසන් කර දිවයිනෙන් නික්ම යාමට නියමිත ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේශප්, ඉකුත්දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද මුණගැසී තිබෙනවා.