වර්ජනය නොනවත්වන්නේනම් තැපෑල ගැන දැඩි තීරණයක් – තැපැල් ඇමති

තැපැල් සේවක වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක වුවහොත් තැපැල් සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කිරීමට. සලකා බලන බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම් එච් ඒ හලීම් පවසනවා. ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා මාධ්‍ය කළ විමසිමකදී කියා සිටියේ.

තැපැල් සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනයට මේවනවිට දින 05ක් ගතවී තිබෙනවා. ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සිය ගැටලූවලට තවමත් විසඳුමක් ලැබී නොමැති බවයි.

මේ හේතුවෙන් ලිපි සහ තැපැල් භාණ්ඩ ලක්ෂ ගණනක් සිරවී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.