කොළඹ වරායේ බෝයාවේ නලයේ කැඩී ගිය කොටස ඉදිරි දින දෙක තුළ යථා තත්ත්වයට

ඉදිරි දින දෙක තුළ කොළඹ වරායේ බෝයාවේ නලයෙහි කැඩී ගිය කොටස යථා තත්ත්වයට පත් කිරිමට අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පසුගියදා කොළඹ වරායෙහි පිහිටි බෝයාවේ නලයෙහි කොටසක් කැඩී ගොස් තිබූ අතර එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතියි.

ඉතා කඩිනමින් එය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

එහිදි මුලිකව අනාවරණය වී ඇත්තේ කැඩී ගිය නළය 2012 වසරේ දී මිලදී ගෙන ඇති බවයි.

එම මිලදී ගැනීම සිදුකිරිමේ දී මතභේදයට තුඩු දිය හැකි කරුණු රැසක් සිදුව ඇති බව ද අදාළ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

එම පරීක්ෂණයේ අවසන් වාර්තාව මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

කෙසේවෙතත් බෝයාවේ නලය කැඩීයාම මත රට තුළ ඉන්ධන බෙදාහැරීමට කිසිඳු ආකාරයේ බාධාවක් නොවන බවත් එය සාමාන්‍ය පරිදි සිදුවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර සිටියි.