මහනුවර හෙට විශේෂ පෙරහුරුවක්

දැනට මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ පවතින ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඉදි කිරීමට නියමිත බහුමාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු සිදු වන කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ධාවන සැලැස්ම පිළිබද පෙරහුරු වැඩසටහනක් හෙට (20) ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව 20 වැනි දින උදෑසන සිට දිනය පුරාම මෙම පෙරහුරුව පැවැත්වීමට නිමිතයි. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉදි කිරීමට නියමිත මෙම බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය ඒකාබද්ධ කරමින් ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතිය තුළින් ලොව දියුණු රටවල පවත්නා තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන මහනුවර දිස්ත්‍රික්කයට බලපා ඇති ප්‍රවාහන ගැටළු සඳහා විසදුම් ලබා දීමට නියමිතයි.

නගරයේ වාහන තදබදය අවම කිරීම, පරිසරය දූෂණය අවම කිරීම සහ මගී ජනයාගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා දීම මෙම ව්‍යාපෘතිය තුළින් ලැබෙන තවත් ප්‍රතිලාභ කිහිපයක්.

මහනුවර නගරයේ සිට දැනට විවිධ ස්ථානවලින් ආරම්භ කෙරෙන සියළුම බස්රථ සේවාවන් මෙම බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි වීමෙන් පසු එම ස්ථානය වෙත ගෙන යෑමට නියමිතයි. ඉදි වන ප්‍රවාහන පර්යන්තය තුළ බස් ප්‍රවාහන සේවයේ යෙදෙන සේවකයින් සහ අනෙකුත් මෙහෙයුම් කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සියළු පහසුකම් සපයා ඇති අතර, ආකර්ශනීය වෙළදසැල් සහ ආපන ශාලාවලින්ද සමන්විත වන පරිදි ඉදි කෙරෙනු ඇති.

ඒ අනුව ඉදිකිරීම් කටයුතු ඇරඹුනු පසු දැනට ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ පිහිටි ස්ථානයේ සිට ආරම්භ කරන බස් රථ දැනට බස්ගාල් කොට තබන බෝගම්බර බස්රථ ගාල වෙත තාවකාලිකව ගෙන ඒමට නියමිතයි. බෝගම්බර බස්ගාලේ දැනට ගාල් කරන බස් රථ මහනුවර විලියම් ගොපල්ලව මාවත, හන්තාන, එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මාවත, ධම්මානන්ද මාවත වැනි ප්‍රදේශවල තෝරාගත් ස්ථානවල ගාල් කර තැබීමට කටයුතු යොදා තිබෙනවා. මෙම ස්ථාන වැඩි වශයෙන්ම වෙන් වන්නේ දුර ගමන් සේවා බස් රථ සඳහායි.

කෙටි ගමන් සේවා බස් රථ මහනුවර නගරය තුළ ගාල් කිරීමට ඉඩ නොදෙන අතර, ගමන් ආරම්භ කරන ප්‍රදේශවලම ගාල් කර තබා නියමිත වේලා ක්‍රමයකට ධාවනය කිරීමට කටයුතු යොදනු ඇති. ඒ අනුව මහනුවරට පැමිණෙන කෙටි ගමන් සේවා බස් රථ මහනුවර නගරය තුළ ගාල් කොට තැබීමට ඉඩ ලැබෙන්නේ නැහැ. 20 වැනිදා පැවැත්වෙන පෙරහුරු වැඩසටනේදී බස්රථ රියදුරන් මේ පිළිබද පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිත බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

රුපියල් මිලියන 5800 වැය කොට ඉදි කරනු ලබන මෙම සිව් මහල් බහුමාදිලි මගී ප්‍රවාහන පර්යන්තය වසර තුනක කාලයකින් අවසන් කිරීමට නියමිතයි. ලංකාවේ ඉදි වන ප්‍රථම අංග සම්පූර්ණ මගී ප්‍රවාහන පර්යන්තය ලෙස ද මෙය හැදින්විය හැකියි.