අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පොලිස් නිලධාරීන් දෙදෙනා යට කරයි

රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (18) රාත්‍රියේදී මෝටර් රථයකට යට වී තිබෙනවා.

ඊයේ (18) දින රාත්‍රි 11.45 පමණ මෙම අනතුර සිදුව ඇති අතර එහිදී පොලිස් සැරයන්වරයා මියගොස් පොලිස් කොස්තාපල්වරයා බරපතළ තුවාල ලබා ඇති බවයි මාතලේ පොලිසිය කියා සිටියේ.

මාතලේ පොලීසියට අනියුක්තව රාජකාරියේ යෙදී සිටී පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මාතලේ පලාපත්වල නිල්දිය උයන ප්‍රදේශයේ රාත්‍රි මුර සංචාරයේ යෙදෙමින් ප්‍රධාන මාර්ගය අසල රැඳී සිටියදී එකවරම මෝටර් රථයක් වේගයෙන් පැමිණ පොලිස් නිලධාරීන් දෙදෙනා යටකරගෙන මෝටර් රථය විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි මලවිආරච්චි නැමැති පොලිස් සැරයන්වරයෙකු බව පොලිසිය සඳහන් කළා. තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

දඹුල්ල ප්‍රදේශයේ සිට පොල්ගොල්ල ප්‍රදේශයට මෙම මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වී තිබෙන බවත් රියදුරු පවසා ඇත්තේ ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි. පොලිසිය සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මෙම මෝටර් රථයේ සිව් දෙනෙකු සිට ඇති බවත් අපරීක්ෂාකාරී රිය ධාවනය සහ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබෙන බවයි.

මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.