ශ්‍රී ලංකා-ඉරාන වෙළෙඳ ගනුදෙනු ඩොලර් මිලියන 8කින් ඉහළට

ශ්‍රී ලංකා ඉරාන ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු 2016 වසරට වඩා 2017 වසරේදී ඩොලර් මිලියන අටකින් වැඩි වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

දෙරටේ වෙළෙඳ ගනුදෙනු 2016 වසරේ ඩොලර් මිලියන 180ක් වූ අතර එය 2017 වසරේ ඩොලර් මිලියන 188ක් බව පෙන්වා දෙන ඇමැතිවරයා. එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට 4.5ක් බවද කියා සිටී.

ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුවලින් 94%ක් ම ශ්‍රී ලංකාව ඉරානයට සිදුකළ අපනයනයන් බවත් එයින් 90%ක්ම සිලෝන් තේ බවද ඇමැතිවරයා පෙන්වාදෙයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ පසුගිය දා එම අමාත්‍යංශයේ දී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහම්මද් ෂයිර්ල් අම්රාණි මහතා සමඟ කළ ද්විපාර්ශවික සාකච්ඡාවලදීය. රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකා ඉරාන ද්විපාර්ශ්වික ගනුදෙනුවල වැඩිම වාසිය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට බවත්, අප තේවලට අමතරව වියළි පොල්, එළවළු මිශ්‍රණ ආදිය ද ඉරානයට අපනයනය කරන බවද එම සාකච්ඡාවේදී ඇමැතිවරයා කියා සිටියේය.

පසුගියදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත මණ්ඩලය ඉරානයේ කරන ලද සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඉරාන ද්විපාර්ශවික ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සමුළුවට තමන් ආරාධනා කරන බව පැවසූ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා, දෙරටේ ද්විපාර්ශවික ඒකාබද්ධ ආර්ථික කොමිසමේ කටයුතු දිගටම පවත්වාගෙන යන ලෙස ඉරාන ජනාධිපති හසාන් රහුමානි මහතා උපදෙස් දුන් බවද කියා සිටියේය.