මහවැලි ගඟේ බෝට්ටුවක් පෙරළෙයි

සෞදි අරාබි ජාතික කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හත් දෙනකු ගමන් ගත් බෝට්ටුවක් ඊයේ (20) පස්වරු 4.00 ට පමණ මහවැලි ගඟේ හල්ඔළුව සීමා මාලකය අසල දී පෙරළීමෙන් එහි ගමන් ගත් පිරිස ජලයේ ගසා ගෙන ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ව බේරාගෙන ඇත. මෙම පිරිස ආරක්ෂක කබා පැළඳ සිට ඇති අතර එසේ නොවුනේ නම් ඔවුන් ජලයේ ගිලෙන්නට ඉඩ තිබූ බව පොලීසිය පවසයි.

මහවැලි ගඟේ පළලම හා පටුම ස්ථානය දක්නට ලැබෙන හත්කිද දූපත් ආසන්නයේ පිටිහි මෙම ස්ථානයේ ජල පහර සෙසු තැන්වලට වඩා වේගයෙන් ගමන් ගන්නා අතර හල්ඔළුව සීමා මාලකය ආසන්නයේ දිය සුළිද අධිකව පැවතීම නිසා පසුගිය කාලය තුළ පුද්ගල මරණ 50 කට වැඩි සංඛ්‍යාවක් මෙම ස්ථානයේ සිදුව තිබෙන බව ප්‍රදේශවාසීහූ පවසති.

බෝට්ටුව පැදවූ ශ්‍රීලාංකිකයා සිද්ධියෙන් තැති ගැන්මට ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බෝට්ටුව පෙරළුණු ස්ථානය පේරාදෙණිය පොලීසියටත් එහි සිටි පුද්ගලයන් දියේ ගසාගෙන ගොස් රැදී සිටි ස්ථාන මහනුවර හා කටුගස්තොට පොලීසිවලට අයත් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ‍පොලිස් ස්ථාන තුනම ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.