ඒකාබද්ධය අද අල්ලස් කොමිසමට

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් 07 දෙනෙකු සහ. නිලධාරීන් 05 දෙනෙකු විසින් රජයට පාඩු කරමින් රුපියල් මිලියන 131,500ක වංචා, දූෂණ සිදුකර ඇතැයි සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිදුකළ පැමිණිලි 11 හි ප්‍රගතිය විමසීමට අද (21දා) දිනයේදී එම කොමිසම වෙත යෑමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්සැලසුම් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු  විසින්මෙම පැමිණිලි ඉදිරිපත් කර වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත්අල්ලස් කොමිසමමේ දක්වා ලබාගත් පියවර සම්බන්ධයෙන් වාර්තා වී නැතැයි පැමිණිලි ඉදිරිපත් කළ මන්ත්‍රීවරු පවසති.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට සිදුකළ පැමිණිලි නොසලකා හැර තිබීම ගැටලුවක් බවත්,මේ සම්බන්ධව එම කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී කරුණු විමසන බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කරති.

බැඳුම්කර වංචාව සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා වාසුදේව නානායක්කාර මහතා විසින්  2016 ඔක්තෝබර් 29 වැනිදා අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණු අතර, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ,එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක,මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් එහි විත්තිකරුවන් ලෙස දක්වා තිබිණි.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අමාත්‍ය බලතල පාවිච්චි කරමින් පෞද්ගලික ව්‍යාපාර සඳහා වාහන ආනයනය කර රජයට වංචාවක් සිදුකර ඇතැයි දක්වමින් රමේෂ් පතිරණ මහතා විසින් 2016 නොවැම්බර් 09 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

මහපොළ භාර අරමුදලින් මුදල් වංචා කර ඇතැයි සඳහන් කරමින් මලික් සමරවික්‍රම ඇමතිවරයාට විරුද්ධව සිසිර ජයකොඩි මහතා විසින් 2016 නොවැම්බර් 22 වැනිදා අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබිණි.

මැදපෙරදිග රැකියාවලට යන ශ්‍රමිකයන් සඳහා හඳුන්වා දී ඇති රක්ෂණ ක්‍රමයෙන් මුදල් වංචාකර ඇතැයි සඳහන් කරමින් තලතා අතුකෝරාල ඇමතිවරියට විරුද්ධව 2016 දෙසැම්බර් 07 වැනිදා නිරෝෂන් ප්‍රේමරත්න මහතා විසින් පැමිණිලි කර තිබිණි.

හම්බන්තොට වරාය චීන වරායකට විකිණීම හරහා මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇතැයි සඳහන් කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ,අමාත්‍ය මලික් සමරවික්‍රම,අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක ආර්.පාස්කරලිංගම් යන මහත්වරුන්ට විරුද්ධව මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් 2017 ජනවාරි 04 වැනිදා පැමිණිලි කර තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් ඇණවුම් කරන ලද එයාර් බස් ගුවන් යානා අවලංගු කිරීම හරහා මුදල් වංචාවක් සිදුව ඇතැයි සඳහන් කරමින් කනක හේරත් මහතා විසින් 2017 ජනවාරි 18 වැනිදා පැමිණිලි කර තිබුණේ අමාත්‍ය කබීර් හෂිම්,චරිත රත්වත්කේ යන මහත්වරුන්ට විරුද්ධවය.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය මගින් වෙළෙඳ පොළට සහ තෝරාගත් සමාගම් කිහිපයකට වී නිකුත් කිරීමේදී මුදල් වංචාවක් සිදුව ඇතැයි සඳහන් කරමින් ජයන්ත සමරවීර මහතා විසින් 2017 පෙබරවාරි 01 දින  පී.හැරිසන් අමාත්‍යවරයාට සහවී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට විරුද්ධව පැමිණිලි කර තිබිණි.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක,හර්ෂ ප්‍රභාත් ද සිල්වා යන මහත්වරුන් විසින් රජයට වංචා කරමින් වාහන අබලි කිරීමේ ජාවාරමක් සිදුකරන බවට උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් 2017 පෙබරවාරි 15  වැනිදා පැමිණිලි කර තිබිණි.

තවද රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා ලෙස සිටි  කාලවකවානුවේ මෝදර වරාය බදුදීම සහ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා වංචනික ලෙස නැව් 08ක් යොදවා තිබෙන බව සඳහන් කරමින් රංජිත් ද සොයිසා මහතා විසින් 2017පෙබරවාරි 28  වැනිදා  පැමිණිලි කර තිබුණි.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ඖෂධ මාෆියාවකට අනුග්‍රහය දක්වන බව සඳහන් කරමින් රංජිත් ද සොයිසා මහතා විසින් එදිනම තවත් පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයට ගල්අඟුරු සැපයීමේදී රජයට රුපියල් මිලියන 5000ක් පාඩු කරමින් වංචාවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක ආර්.පාස්කරලිංගම්,චරිත රත්වත්තේ යන මහත්වරුන්ට විරුද්ධව විදුර වික්‍රමනායක මහතා විසින්ද 2017 මාර්තු 16 වැනිදා පැමිණිලි කර තිබිණි.