ලංකා සතොස ඉහළම පිරිවැටුම වාර්තා කරයි

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ විශාලතම රජයට අයත් සිල්ලර අලෙවිසල් ජාලය වන ලංකා සතොස තම පිරිවැටුම රුපියල් බිලියන 31ක ඉහළ අගයක් ලබා ගෙන ඇත.

එය ලංකා සතොස මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම් අගය වන බවත්, ඉදිරි මාස හය තුළ සතොස ආදායම් තත්ත්වය තව දුරටත් වැඩි කර ගැනීමට සතොස භාණ්ඩ ඔන්ලයින් (Online) ක්‍රමයටත් අලෙවි කිරීමට සැලසුම්කර තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගිය දා කොළඹ හෝටලයක පැවැති ලංකා සතොස වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

ලංකා සතොස වෙබ් අඩවිය www.Lankasathosa.org වේ. මේ නව වෙබ් අඩවියෙන් ලංකා සතොස ගැන තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.

මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අැමැතිවරයා මෙසේ ද පැවැසීය.

‘ලංකා සතොස පසුගිය වසරේ දී වාර්ෂික පිරිවැටුම බිලියන 31 දක්වා වර්ධනය කර ගැනීමට සමත් වුණා. එය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 15%ක වර්ධනයක් බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. අපි ලංකා සතොස අලෙවිසල් ජාලය ඔස්සේ අඩුම මිලට, ප්‍රමිතියෙන් ඉහළ පාරිභෝගික භාණ්ඩ පරිභෝගිකයන්ට ලබා දෙනවා. අපේ රටේ ජීවන වියදම තීරණය කිරීමේ ප්‍රධාන යන්ත්‍රණය වන්නේද ලංකා සතොසයි. ඒ වගේම ඉදිරි කාලය තුළ ලංකා සතොස විද්යුත් වාණිජ්‍ය (E – commerce) උපයෝගී කර ගෙන ගනු-දෙනු කිරීමට සැලසුම් කිරලා තිබෙනවා. එය 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා මේ මඟින් භාණ්ඩ වෙළෙඳාම කිප ගුණයකින් ඉහළ නැංවීමට.

ඒ අනුව අපි ලබන වසර වන විට දැනට පවතින ලංකා සතොස අලෙවිසල් සංඛ්‍යාව වැඩි කිරීමටත්, සතොස ජංගම රථ අලෙවිසල් සංඛ්‍යාව වැඩි කිරීමටත්, මෙගා අලෙවිසල් ජාලය තව දුරටත් ව්‍යාප්ත කිරීමටත් බලාපොරොත්තු වෙනවා. දැනට අපිට ලංකා සතොස අලෙවිසල් 398ක් තිබෙනවා. එහි සේවය කරන සේවක සංඛ්‍යාව 5000ක් පමණ වෙනවා. අපි ඉදිරි කාලය තුළ මේ සේවක පිරිස මනා ලෙස වැඩි දුර පුහුණුවක් ලබා දීමත් ඔස්සේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, එමඟින් සතොස ඵලදායීතාව වැඩි කිරීමටත් අපේක්ෂා කරනවා.’ යැයි පැවැසීය.

මේ අවස්ථාවට ලංකා සතොස සභාපති මොහොමඩ් රිෂ්වාන් හමීන් සතොස ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එම්. ෆරාස් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.