ටෙනිස් බෝලක් නිසා ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම වූ කාන්තාව

ටෙනිස් බෝලයක් තුළට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.15 ක් ඇතුළු කොට එම බෝලය වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවකු වෙත විසිකිරීම සම්බන්ධයෙන් වැරදිකරු කෙරුණු විවාහක කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මීය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

බොරැල්ල ,සීවලි මාවත් ර්‍ පදිංචි හිරුණි අල්විස් නමැති තිස්තුන් හැවිරිදි විවාහක කාන්තාවකට මෙසේ දඬුවම් නියම විය.

2011 වසරේ ජනවාරි මස විසි වනදා ටෙනිස් බෝලයක් තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.15 ඇතුළත් කර වැලිකඩ බන්ධනාගාරය පිටත සිට එම බන්ධනාගාරය තුළට විසිකර ඒ තුළ සිටි විත්තිකරුවෙකුට ලබාදීම සඳහා ක්‍රියාකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකාර කාන්තාවට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මීය කියා සිටියේ විත්තිකාරියට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව විත්තිකාරියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරිය සඳහන් කළේය.