මාස දෙකෙන් දෙකට පඩි වැඩිවෙන වැටුප් සූත්‍රයක් ජවිපෙ ඉල්ලයි

ඉන්ධන මිල සම්බන්ධයෙන් පවතින මිල සූත්‍රය රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

වැඩිවන ජීවන වියදම දරා ගැනීමට නොහැකි වී සිටින ජනතාවට ඉන්ධන මිල වැඩිවීම දරාගත නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව මිල සූත්‍රයක් අනුව ඉන්ධන මිල වැඩි කරන්නේ නම් ජනතාවගේ ආදායම් වැඩි කර ගැනීමට සූත්‍රයක් හඳුන්වා දිය යුතු බවත් මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි කරන නිසා රාජ්‍ය සේවකයන්ගේ හා පෞද්ගලික සේවකයන්ගේ වැටුප මාස දෙකෙන් දෙකට වැඩි කිරීමට අදාළ සූත්‍රෙයන් හඳුන්වාදිය යුතු බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඉන්ධන මිල වැඩි කිරීම තුළින් තවත් නිෂ්පාදන හා සේවා රැසක මිල ඉහළ යන බවත් පසුගිය ආණ්ඩුවට හා වත්මන් ආණ්ඩුවට නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.