විජයකලාගේ ප්‍රකාශය ගැන තවදුරටත් පරීක්ෂණ-සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වයි

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ බව කියන හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය අද(20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ විජයකලා මහේෂ්වරන් මහත්මිය අදාළ ප්‍රකාශය සිදු කළ අවස්ථාවේ උත්සව සභාවේ සිටි රජයේ නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු හතළිස් දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එම උත්සවයට සහභාගි වූ විජයකලා මහේශ්වරන් මන්ත්‍රීවරිය ඇතුළු සෙසු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කථානායක වරයාගෙන් අවසර ඉල්ලා ඇති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම ප්‍රශ්නගත ප්‍රකාශය නිල වශයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කර කර දෙන මෙන් රාජ්‍ය භාෂා
දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙන අතර එම පරිවර්තනය අද දින තුළ තමන් වෙත ලැබීමට නියමිත බවද පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව පැමිණිල්ල නැවත අගෝස්තු මස 10 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද පොලිසියට දැනුම් දුන්නේය.