ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය හෙට

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිලට එරෙහිව හෙට (05) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිත තුන්වැනි එක්දින තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් බවට පත්වී ඇති බැවින් කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

දඹුල්ලේ පැවැති පළමු තරග 2ම පරාජයට පත්වීම නිසා තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0කින් පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා පිලට හෙට තරගය ජයගැනීමට නොහැකිවුවහොත් තරග දෙකක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියේ කුසලානය දකුණු අප්‍රිකානු පිලට හිමිවනු ඇත.

ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් එකපෙළට දැවීයාම පළමු තරගයේ පරාජයට සාධකය වූ අතර දෙවැනි තරගයෙන් පරාජය වූයේ පන්දු රකින්නන්ගේ දුර්වතාව හේතුවෙනි. ටෙස්ට් තරගමාලාව 2-0කින් ජයගෙන ඉහළ මානසිකත්වයෙන් එක්දින තරගාවලියට දඹුල්ලට පැමිණි ශ්‍රී ලංකා පිල තරග 2ම පරාජය වීම නිසා පෙරේදා මහනුවරට පැමිණියේ හිස් අතිනි. පුහුණුවීම් මෙන්ම ක්‍රීඩකයන්ගේ සාකච්ඡා කෙතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කළත්, තණතීරුවේදී සැලසුම් කළ ලෙස ක්‍රීඩා නොකිරීමේ පුරුද්ද කාලයක සිට ශ්‍රී ලංකා පිල වෙතින් පෙන්නුම් කෙරෙන්නකි. නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේද දැඩි විවේචනයට ලක්වූ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ උඩපන්දු අතහැරීම් සහ පන්දු රැකගැනීමට අසමත්වීම හෙට තරගයේදි නිවැරැදි කරගැනීම අතිශය වැදගත් කාරණාවක් වී තිබේ.

පළමු තරගයෙන් පසුව පුහුණුවීම්වලදී ඇඟිල්ලක ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ළහිරු කුමාර හෙට තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම ටෙස්ට් තරගමාලාවේදී සහ පළමු එක්දින තරග 2දීම ලකුණු අතරට පිවිසීමට අසමත්වී සිටින අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් වෙනුවට ධනංජය ද සිල්වා අදේශ කිරීමටත්, තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට අවස්ථාව ලබාදී මැදපෙළ තුන්ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ඉවත් කිරීමටත් අවධානය යොමුවී ඇතැයි වාර්තාවෙයි.

වසර 2015 නොවැම්බරයේ දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 19ක ජයක් වාර්තා කිරීමෙන් පසුව මේ දක්වා පල්ලෙකැලේ පිටියේ පැවැති එක්දින තරග 3දීම ශ්‍රී ලංකා පරාජයට පත්විය. 2016 සැප්තැම්බරයේ ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 5කින් පරාජය වූ ශ්‍රී ලංකා පිල අනතුරුව පසුගිය වසරේ දී ඉන්දියාව සමග පැවැති තරග 2දීම පරාජය උරුම කරගත්තේ පිළිවෙළින් කඩුලු 3කින් සහ කඩුලු 6කිනි.

අසාර්ථක ටෙස්ට් තරගමාලාවෙන් පසුව පෙරළිකාර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් තරග 2-0කින් එක්දින තරගාවලියේ පෙරමුණගත් දකුණු අප්‍රිකාව හෙට තරග වදින්නේ වේලාසනින්ම තරගාවලියේ ජයග්‍රහණය අත්කරගැනීමේ බලාපොරොත්තුවෙනි. දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 87ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය දිනූ ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක්, නායක ෆෆ් ඩු ප්ලෙසි, ජේ.පී.ඩුමිනි පළමු තරග 2දීම විශිෂ්ට දස්කම් පෑ අතර ලකුණු අහේනියකට ලක්ව සිටි ආරම්භක පිතිකරු හෂීම් අම්ලා ද දෙවැනි තරගයේදී සාර්ථක පිතිහරඹයක නිරතවිය.

මුල් තරග 2දීම එකම කණ්ඩායම ක්‍රීඩා කළත් තරගාවලියේ ඉදිරියෙන් පසුවන බැවින් දකුණු අප්‍රිකානු පිල හෙට තරගයේදී අවම තරමින් වෙනස්කම් දෙකක් හෝ සිදුකරනු ඇතැයි අනුමාන කෙරේ. ඒ කෙසේ වුවත් හෙට තරගයේ වැඩිම පීඩනය පැටවී ඇත්තේ ශ්‍රී ලංකා පිල මතය.