සිංගප්පූරු ගිවිසුමෙන් අපනයනයට යහපතක් නෑ

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මගින් අපනයන අවස්ථා වැඩි විය හැකි යැයි විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා ප්‍රකාශ කරයි.

එසේ වුවද මෙම ගිවිසුම මගින් ආයෝජන අවස්ථා වැඩිවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට අනුව භාණ්ඩ රැසක තීරුබදු ඉවත් කරමින් රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීමෙන් ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම කෙතරම්දැයි මාධ්‍යවේදී මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

සිංගප්පූරු ගිවිසුම නිසා අපේ අපනයන වැඩිවෙයි කියලා හිතන්න බෑ. නමුත් අපේ රටේ ආයෝජන අවස්ථා පුළුල් වෙන්න පුළුවන්. තීරු බදු රහිතව භාණ්ඩ මෙරටට ගෙන්වීම බැලූ බැල්මට ආර්ථික හානියක් වගේ පෙනුනත් මේ ව්‍යාපෘතියේ සමස්ත ප්‍රතිඵලය රටේ ආර්ථිකයට වාසිදායක වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.