කරුණානිධි දිවි ගමනට සමුදෙයි

දකුණු ඉන්දීය දේශපාලනයේ වඩාත් ප්‍රබල චරිතයක්ව සිටි මුතුවේල් කරුණානිධි අවුරුදු 94ක් ආයු වළඳා සිය දිවි ගමනට සමුදී තිබේ.

චෙන්නායි නුවර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම වයස සමග ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් දිවියෙන් සමුගත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

වර්ෂ 1969 සිට 2011 දක්වා තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරය පස් වතාවක් හොබවා ඇති එම්.කරුණානිධි, ද්‍රවිඩ මුනේත්‍ර කලහම් (ඩී.එම්.කේ.) පක්ෂයේ නායකයා ලෙස ප්‍රධාන දහරාවේ දේශපාලනය තුළද වඩාත් ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ චරිතයකි.

තමිල්නාඩු ප්‍රාන්තය තුළ තරග කළ මැතිවරණ 13කින් ජයග්‍රහණය ලබා ඇති කරුණානිධි, දමිළ සිනමාවේ සාර්ථක තිර පිටපත් රචකයෙකු ලෙසද නමක් දිනාගත් අයෙකි.

2016 වසරේ සිට වරින් වර අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල් ගත කළ කරුණානිධි, එවකට පෝෂණ ඌනතා සහ විජලනයෙන් පෙළෙන බව වෛද්‍යවරු පවසා තිබුණි.

වරින් වර ඇති වන ආසාත්මික තත්ත්වයන් ඔහුගේ වයස සමග ඇති වූ ඒවා බව වෛද්‍යවරු සඳහන් කළත්, සිය අවසාන කාලය දක්වාම ක්‍රියාකාරී දේශපාලනය කිසියම් හෝ දායකත්වයක් දැක්වීමට ඔහු කටයුතු කර තිබුණි.

මේ අතර, ඔහුගේ වියෝව දරාගත නොහැකි ආධාරකරුවන් චෙන්නායි නුවර වීදිවලට රැස්වී සිටීම හේතුවෙන් ඇතිවිය හැකි කලහකාරී තත්ත්වයන් පාලනයට අමතර ආරක්ෂාව යෙදවීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.