විජයකලාගේ පරීක්ෂණ අවසන්-අධිකරණයට දන්වයි

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා. මහේෂ්වරන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ පනස් නවයක් සටහන් කරගෙන ඇති බවයි.

ඒ අතර මැති ඇමැතිවරුන් 6 දෙනෙකු රාජ්‍ය නිලධාරීන් 14 ක් සහ මාධ්‍යවේදීන් තිස් දෙනකු ඇතුළත් වන බව ද පොලිසිය සිය වාර්තාවෙන් අධිකරණයට දන්වා තිබේ.

සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු නඩුව සඳහා කැදවීමේ දිනයක් ලබා දෙන මෙන් ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 19 වනදා කැඳවීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද පොලීසියට නියම කළේය.