කතානායක තීන්දුව අභියෝගයට ලක් කරන්න බෑ

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කතා නායකවරයා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් කිසිවකුටත්. අධිකරණයට යා නොහැකි බව පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුව මගින් ලබාදෙන තීන්දුවකට එරෙහිව අධිකරණයට යානොහැකි බවට අනුර බණ්ඩාරනායක මහතා කතා නායක ධූරය හෙබවූ සමයේ තීන්දුවක් ගෙන තිබෙන බවද ඒ මහතා කීය.

මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවැති රැස්වීමකින් අනතුරුව පෙරේදා (10) මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් කිරිඇල්ල මහතා මේ බව කීවේය.

ඒකාබද්ධ විපක්ෂය යනු කල්ලියක් බවත් එවැනි කල්ලි වලට විපක්ෂ නායක ධූරය ලබා දීමේ සම්ප්‍රදායක් පාර්ලිමේන්තුවේ නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

දුම්රිය වර්ජනය පමණක් නොව සෙසු වර්ජන පසුපසද සිටින්නේ පොහොට්ටු පක්ෂය බවත් මෙරටට එන ආයෝජන නතර කර රට අස්ථාවර කිරීම ඔවුන්ගේ එකම අරමුණවී තිබෙන බවත් ඒ මහතා කීවේය.